ඩොලර් බිලියන 12 ක ණය ගැන මේ සතියේ සාකච්චා


ජාත්‍යන්තර පෞද්ගලික ණය හිමියන්ගේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡා ඇරඹීමට නියමිතයි

උපුල් වික්‍රමසිංහ

වාණිජ ණය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ ජාත්‍යන්තර පෞද්ගලික ණය හිමියන්ගේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ තීරණාත්මක සාකච්ඡාවක් එම ණය හිමියන් නියෝජනය කරන කමිටුව සහ ශ්‍රී ලංකා රජය අතර එළැඹෙන සතියේදී පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි.


එම සාකච්ඡාව සඳහා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ හා මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් යුතු කණ්ඩායමක් සහභාගි වෙන බව ද දැනගන්නට ලැබේ.

පසුගිය 20 වැනිදා ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කොට තිබූ නිවේදනයක දැක්වෙන්නේ ද මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ හා මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන යන මහත්වරුන් ඉදිරි දින කිහිපයේ යුරෝපයේදී පෞද්ගලික ණය හිමියන් නියෝජනය කරන කමිටුව මුණ ගැසී මේ ගැන සාකච්ඡා කිරීමට නියමිත බවය.
වාණිජ ණය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ ඩොලර් බිලියන 12 ක ණය ප්‍රමාණයක් (ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ණය) ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට නියමිත අතර, ඊට අදාළව ශ්‍රී ලංකා රජය හා පෞද්ගලික ණය හිමියන් අතර යෝජනා ද මීට පෙර හුවමාරු විය. අවසන් වරට ශ්‍රී ලංකා රජය එම ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් වන සිය යෝජනාව පසුගිය මාසයේදී එම ණය හිමියන්ගේ කමිටුවට යොමු කර තිබිණ.


මේ වසරේ ජුනි වන විට ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ අවසන් ගිවිසුමට එළැඹීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා මීට පෙර පවසා තිබූ අතර, ඒ අනුව ද්වීපාර්ශ්වීය ණය (චීනය, ඉන්දියාව, ජපානය සහ පැරිස් සමාජය නියෝජනය කරන රටවලින්) ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ සාකච්ඡා එහි අවසන් අදියරේ පවතින බව දැනගන්නට ඇත. එහෙත් ජාත්‍යන්තර පෞද්ගලික ණය හිමියන්ගෙන් ලබා ගත් ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළව මෙතෙක් මූලික එකඟතාවකට හෝ පැමිණීමට නොහැකි වී ඇති අතර, එය රජය හමුවේ පවතින ප්‍රධාන අභියෝගයකි.


මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ආර්ථික විශේෂඥයකු පැවසුවේ පෞද්ගලික ණය හිමියන්ගේ ණය කඩිනමින් ප්‍රතිව්‍යුහගතකරණය කිරීම තීරණාත්මක බවත්, අවම වශයෙන් එම ණයවලින් සියයට 30 ක කප්පාදුවක් ලබා ගැනීමට ශ්‍රී ලංකා රජය කටයුතු කළ යුතු බවත්ය. එසේම ද්වීපාර්ශ්වීය ණය හා වාණිජ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ අවසන් ගිවිසුම් එකම අවස්ථාවක අස්සන් කිරීම වැදගත් බව ද එම විශේෂඥයා කීවේය.