උපුල් වික්‍රමසිංහ
මත්ද්‍රව්‍ය හා පාතාල චෝදනාවලට වැරදිකරුවන් වන මහජන නියෝජිතයන්ගේ මන්ත්‍රී ධුර අහෝසි කරන නීති ගෙන ඒම වැදගත් බව පාර්ශ්ව ගණනාවක් පෙන්වා දෙයි. මැතිවරණ කොමිෂන් සභාව පෙන්වා දෙන්නේ එවැනි වැරදිවලට වරදකරුවන් වන මහජන නියෝජිතයන් ධුරවලින් පහ කිරීම සම්බන්ධයෙන් පවතින නීති ප්‍රමාණවත් නොවන බැවින් නව නීති ගෙන ඒම වැදගත් බවයි.
මේ අතර නිදහස් හා සාධාරණ මැතිවරණ සඳහා ජනතා ක්‍රියාකාරීත්වය (පැෆ්රල්) ආයතනය පවසන්නේ මත්ද්‍රව්‍ය හා පාතාල වැරදිවලට වරදකරුවන් වන මහජන නියෝජිතයන්ට ලැබෙන සිර දඬුවම් කාලය කොපමණ වුවත් එවැනි අයට වසර 10 ක කාලයක්වත් දේශපාලනයේ නිරත වීමට ඇති හැකියාව අවහිර වන ආකාරයේ නීති ගෙනා යුතු බව ය.
මේ සම්බන්ධයෙන් ඉරිදා ලංකාදීපයට අදහස් දක්වමින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක ප්‍රකාශ කළේ දේශපාලන පක්ෂ මගින් නාමයෝජනා ලබා දීමේ දී ඒ සඳහා ඉදිරිපත් වෙන පුද්ගලයන්ට මත්ද්‍රව්‍ය හෝ වෙනත් අපරාධමය චෝදනා තිබේද යන්න පරීක්ෂා කර එවැනි චෝදනා නැති අයට නාමයෝජනා ලබා දීම එවැනි පුද්ගලයන් මහජන නියෝජිතයන් වශයෙන් තේරී පත්වීම වැළැක්වීමට ගත හැකි හොඳම ක්‍රියාමාර්ගය බවය.
“අනීතික කටයුතුවලට වැරදිකරුවන් වෙන මහජන නියෝජිතයන් එම තනතුරුවලින් ඉවත් කිරීම සම්බන්ධයෙන් දැනට තියෙන්නෙ සීමිත නීති ප්‍රතිපාදන ප්‍රමාණයක් විතරයි. වසර දෙකකට වැඩි කාලයක් සිරගත වෙන මහජන නියෝජිතයන්ගේ ධුර අහිමි වෙන ආකාරය සම්බන්ධයෙන් නීතියේ විධිවිධාන දැක්වුණ ද මත්ද්‍රව්‍ය හා පාතාල සබඳතා සම්බන්ධ වැරදිවලට අදාළ නීති ප්‍රතිපාදන තිබෙන්නෙ අඩුවෙන්. ඒ නිසා රටේ තියෙන නීතියට පරිබාහිර කටයුතු කරලා ඒවට වැරදිකරුවන් වෙන මහජන නියෝජිතයන් ධුරවලින් ඉවත් කිරීම සඳහා නීති පැනවීම වැදගත් කියලා මම හිතනවා” හෙතෙම පැහැදිලි කළේ ය.
පැෆ්රල් ආයතනයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පවසන්නේ මත්ද්‍රව්‍ය හා පාතාලය සම්බන්ධ වැරදිවලට චෝදනා එල්ල වෙන අයට නාමයෝජනා ලබා නොදීමට දේශපාලන පක්ෂවලට විශාල වගකීමක් ඇති බවයි.
“දැනට තියෙන නීතිය අනුව වැරදිකරුවෙකු වුණොත් අදාළ පුද්ගලයාට අනිවාර්යයෙන්ම ධුරය අහිමි වෙන්න පුළුවන්. නමුත් වැරදිකරුවෙකු බව ඔප්පු වෙන්න සෑහෙන කාලයක් යනවා. මත්ද්‍රව්‍ය හෝ පාතාල කටයුතු සම්බන්ධ වරදකට චෝදනා ලබන මහජන නියෝජිතයන් ඊට අදාළ නඩු කටයුතු අවසන් වෙන තෙක් මන්ත්‍රී ධුරයෙන් ඉවත් විය යුතු යි” ඔහු සඳහන් කළේය.

