“වවුනියාව මණ්ඩපය වන්නි සරසවිය වෙයි“


(රොමේෂ් මධුෂංඛ)
 
මෙතෙක් යාපනය විශ්ව විද්‍යාලයේ කොටසක් වශයෙන් පැවති වවුනියාව මණ්ඩපය වන්නි විශ්ව විද්‍යාලය වශයෙන් නව විශ්ව විද්‍යාලයක් ලෙස පිළිගැනීමට තීරණය කර ඇතැයි උසස් අධයාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

“මෙතෙක් පැවති වවුනියාව මණ්ඩපය වන්නි විශ්ව විද්‍යාලය වශයෙන් පත් කිරීමට අවශ්‍ය සියලු පියවර අරන් ඉවරයි. තවත් නීතිමය පියවර එකක් හෝ දෙකක් පමණයි මේ සඳහා ඉතිරිව ඇත්තේ .ඉතා ඉක්මනින් ඒ කටයුතු අවසන් වෙනවා,“

උසස් අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (17) යාපනය විශ්ව විද්‍යාලයේ වවුනියාව මණ්ඩපයට වසර 25 ක් පිරීම නිමිත්තෙන් පැවති උත්සව අවස්ථාවට සහභාගී වෙමිනි.

“දැන් නෙවිල් ප්‍රනාන්දු රෝහල සම්පූර්ණයෙන්ම තියෙන්නෙ රජය අතේ.නමුත් සයිටම් ආයතනය රජයට පවරගෙන නැහැ .ඒක අපිට පවරාගන්න බැහැ. ඕන වුණත් බැහැ .මේක තේරුම්ගන්න බැහැනේ.සයිටම් විශ්ව විද්‍යාලය අධිකරණයෙන් පිළිඅරන් තියනවා. ඉතිං අධිකරණයෙන් පවරගත්තු එකක් කොහොමද රජයට පවරගන්නේ ? අපි පවරගත්තොත් ඒ සිසුන් අපිට නඩු දායි.අනිත් එක 2011 මේක පටන්ගත්ත කාලේ කවුද විරුද්ධ වුණේ? ගිය ආණ්ඩුව මිලියන 600 ක් දුන්නා සයිටම් එක පටන් ගන්න කියලා.ඒ කාලේ කවුරුත් කෑගහන්නේ නැතිව ඇයි දැන් කෑගහන්නේ ?“

“විශ්ව විද්‍යාලවල ආචාර්යවරු, මහාචාර්යවරු ළමයින්ට නායකත්වය දෙන්න ඕන.නමුත් අද වෙලා තියෙන්නෙ නායකත්වය දෙන්නෙ ළමයින්.ආචාර්යවරු,මහාචාර්යවරු ළමයි පස්සේ යනවා. ලැජ්ජයි කියන්න ,“යැයි ඒ මහතා ප්‍රකාශ කරයි.