“පක්ෂ පාට වැඩක් නෑ. කරන දේ ඉවසීමෙන් බලා සිටින්න“


‘‘ අපේ දින සියයේ වැඩසටහන හා ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාත්මක කරන්න ගියාම තමයි තේරුණේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය නැතිව මේ පොරොන්දු ඉටුකරන්න බැරි බව.‘‘ යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රූපවාහිනී වැඩසටහනකට සහභාගී වෙමින් කීවේය.

ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙසේ ද කීවේය.

අසීමිත බලය සහිත ලොව කොතනවත් නැති විධායක ජනාධිපති ක්‍රමයක් තිබුණත් මේ වැඩේ කරන්න බැහැ පාර්ලිමේන්තු බලය නැතිව. තවමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු 127 ක් ඉන්නවා. ආදරණීය එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන් කියාවි මැතිවරණයකට යන්න කියා. මැතිවරණයකට ගියොත් මේ වැඩපිළිවෙල දින 100න් නොවෙයි 150න් වත් කරන්න බැහැ. මැතිවරණයකට ගිහින් යළි එන පාර්ලිමේන්තුව මොනවගේ වේවිද කියා අපිට හිතන්න බැහැ. උපකල්පනය කරන්න බැහැ. දින සියය වතුරේ යවන්නවත් මැතිවරණ පොරොන්දු අමතක කරන්නත් බැහැ. ඒ නිසා මට තිබුණු එකම විසඳුම තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සම්පූර්ණ සහයෝගය මේකට ගැනීම. එහිදී මා කිව යුතුයි මාව පක්ෂයේ සභාපති කරන්න මහින්ද රාජපක්ෂ මහතාගේ හිත මේ සඳහා එකඟ කරවා ගන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ පිරිසක් වැඩ කළා. මැතිවරණය සමග ඒ අය විවිධ මත දරණ තත්ත්වයට පත්ව සිටියා. එක් කණ්ඩායමක් මා හමුවී කිව්වා රටේ හා පක්ෂයේ අනාගතය වෙනුවෙන් හා ඔබේ පොරොන්දු ඉටු කිරීමට හොඳම දේ පක්ෂය භාර ගන්න කියලා. ඒ අය කිව්වා මහින්ද රාජපක්ෂ මහතා සමග කතා කරන්නම් කිව්වා. කතානායක නිල නිවසේ දී මා හිටපු ජනාධිපතිතුමා හමුවුණා. ඇතැම් මාධ්‍ය මගින් කිව්වා මා කිසිවකු සමග කතා නොකර හිටපු ජනාධිපති තුමා සමග සාකච්ඡා කලා කියා. හමුවූ විදිය වැදගත් නැහැ. ගත් තීරණයි වදැගත් වන්නේ. අපි විනාඩි 10ක් වත් කතා කළේ නැහැ. එතුමා මා සමග පමණක් කතා කරණවා කිව්වා. කතානායක තුමා එතැන හිටියා. ඔවුන් දෙදෙනා සහ මා පමණයි සිටියේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු 25ක් පමණ වෙනත් කාමරයක හිටියා. පාක්ෂිකයන්ට සිදුවන හිරිහැර තියෙනබව එතුමා කිව්වා. පූර්ව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා හා පශ්චාත් ප්‍රචණ්ඩ ක්‍රියා නවත්වන්න කළ හැකි දේ කරණවා කියා මා කීවා.

මහින්ද මහතා කිව්වා මෛත්‍රී පක්ෂය භාර ගන්න කැමති ද කියා. මා කැමැත්ත කිව්වා. පක්ෂය භාරගෙන මා අලුත් නිලධාරී මණ්ඩලයක් තෝරාගන්නා බවත් කීවා. එතුමා පැකිලීකින් තොරව කැමැත්ත දුන්නා. එතුමාගේ තත්ත්වය කුමක්ද කියා එතුමා ඇහුවා. මා මධ්‍යම කාරක සභාවෙන් තීරණයක් අරගෙන දැනුම් දෙන්නම් කිව්වා. අපි තේ බිව්වා. ආප්ප කෑවේ නෑ.

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛව. පක්ෂ රැසක් හා මහජන සංවිධාන රාශියක් එක්ව මා ජනාධිපතිවරයා බවට පත්කළා. මා නමවැනිදා දිවුරුම් දුන්නා. සිකුරාදා (ජනවාරි 09) මා දිවුරුම් දුන්නා. පසුව මා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ලෙස තෝරාගත්තා. අපි හඳුන්වාදෙන්න උත්සාහ ගන්නා මේ දේශපාලන සංස්කෘතිය අපි තේරුම් ගත යුතුයි. මා ඇමතිකම්, අගමැතිකම භාර ගන්න කියද්දී ඒක දාලා ඇවිත්, පක්ෂයේ ලේකම් කම අමතක කරලා ඇවිත් අවුරුදු 47ක් මට කෙණෙහිලිකම් කරපු එක්සත් ජාතික පක්ෂය සමග එක්ව මැතිවරණ ව්‍යාපාරයක් කරලා මේ තනතුරට මා ජනතාව විසින් පත්කැර ගත්තා. මැතිවරණ ව්‍යාපාරයේ දී පැහැදිලිව කිව්වා ජාතික ආණ්ඩුවක් සර්වපාක්ෂික ආණ්ඩුවක් ගැන.

අපි ජාතික ආණ්ඩුවක් ගැන සංකල්පය ක්‍රියාත්මක කිරීම තීරණය කරලා තියෙන්නේ දින සියයට පමණක් නොවෙයි. අගමැති රනිල් වික්‍රමසිංහ මහතාත් මමත් මැතිවරණ වේදිකාවේ දී පැහැදිලිව කිව්වා මහ මැතිවරණයක ප්‍රතිඵල ආවට පස්සෙත් අඩුම වශයෙන් අවුරුදු දෙකක් ජාතික ආණ්ඩුවක් ගෙන යනවා කියා. මේ දින සියය සම්පූර්ණ කරගෙන ඉන් පසුවත් වසර දෙකක් පමණ සහයෝගයෙන් වැඩ කරන්න අපට පුළුවන් ද කියන එක මේ තත්ත්වය තුළ තේරුම්ගත යුතුයි. ඒ සඳහා මේ ප්‍රචණ්ඩත්වය සම්පූර්ණයෙන්ම නැති විය යුතුයි. ප්‍රචණ්ඩත්වය අයිති අමුනුෂ්‍යයන්ට. මා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නායකත්වය දුන්නේ නැතිනම් ඇතිවන තත්ත්වය මොකක්ද කියා මා දන්නවා. මේ දෙපාර්ශවයේ එකඟතාව අවශ්‍යයි. මැතිවරණයෙන් පස්සේ මේ සුහදතාව ගොඩනැගීම අත්‍යාවශ්‍යයි. මා එක්සත් ජාතික පක්ෂයට විරුද්ධව එය පහත් කොට කතා කරලා මා ඒ ව්‍යාපාරයට තර්ජනයක් වන ආකාරයෙන් කටයුතු කරණවානම් එය මගේ මනුෂ්‍ය ගතියක්යැයි මා සිතන්නේ නැහැ. දින සියය ක්‍රියාත්මක කරන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මට භාර දීලා තියෙනවා. මා ඒ පක්ෂය පාවා දිය යුතු නැහැ.

ලෝකයේ සංවර්ධනය වූ රවටල්වල මේ වගේ මැතිවරණ තියෙනවා. මැතිවරණයක් තියෙනවාද කියා ජනතාවට එය දැනෙන්නේවත් නැහැ. ප්‍රචණ්ඩ ක්‍රියා නැහැ. ආණ්ඩුව විපක්ෂය කියා බේදයක් නැතිව ඒ අය වැඩකරගෙන යනවා. මුලින් අපිට තියෙන්නේ දින සියය සම්පූර්ණ කර ගැනීම. අවසානයේ අපි කළ යුත්තේ මැතිවරණයට යාම. මෙය ඉතා අවබෝධයෙන් කරගතයුතු වැඩක්. අපි මෙතැනින් එහාට යන්නේ කොහොමද කියා ඉන් පසු වැඩපිළිවෙලකට යන්න ඕනේ. මේක කාටවත් හුරු නැහැ. ඒක දෙපැත්තට අදින්නමයි හදන්නේ. කඩන්නමයි හදන්නේ. මේක කැඩුවොත් රට පරාදයි. පැහැදිලිවම මෙතැන තියෙන්නේ එක්සත් ජාතික පක්ෂයේවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේවත් න්‍යාය පත්‍රයක් නැහැ. අපි රට හා ජනතාව මුලට දාන්න ඕනෑ. පසුව පක්ෂ ගැන හිතන්න පුළුවන්. අභියෝග ජයගන්න පස්සේ පුළුවන්. මැතිවරණයේ දී වේදිකාව තෝරාගන්නේ මොන වේදිකාවද කතා කරන්නේ මොනවා ද ? කියන්නේ මොනවාද කියා පස්සේ හිතමු.

ආදරණීය එක්සත් ජාතික පක්ෂ පාක්ෂිකයන් හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාක්ෂිකයන්ගෙන් මා ඉල්ලා සිටින්නේ ඉවසීමෙන් මේ කාර්යයට සහය දෙන්න කියා. මෙවැනි පූර්වාදර්ශයක් අපේ රටේ නැහැ. මුළු ලෝකයම මේ ගැන බලා සිටිනවා. මේ අත්හදා බැලීම ඉතා කටුකයි. සංකිර්ණයි. ඒ නිසා අපිට සහයෝගයෙන් බලා සිටින්න.

‘‘ පසුගිය පාලනය ප්‍රතික්ෂේප කළේ උතුරේ නැගෙනහිර දෙමළ හා මුස්ලිම් ජනතාව පමණක් නොවේ. මේ පාලනය වෙනස් කිරීමට මෙරට සිංහල බෞද්ධ ජනතාවත් විශාල වශයෙන් තමන්ට ඡන්දය දී තිබෙනවා. ඒ නිසා හිටපු ජනාධිපතිවරයාට කලින් 2005 දී හා 2010 දී ලැබුණු ඡන්ද පදනම විශාල වශයෙන් අඩුවී තිබෙනවා.“ යැයි ද ජනාධිපතිවරයා කියා සිටියේය.