“උතුරේ මැර වැඩවලට පුනරුත්තාපනය වූවන් සම්බන්ධ නෑ“


(රොමේෂ් මධුෂංඛ)

යාපනයේ පසුගිය දිනවල සිදු වූ කිසිදු ප්‍රචණ්ඩකාරී ක්‍රියාවකට පුනරුත්තාපනය වූ කිසිදු එල්.ටී.ටී.ඊ සාමාජිකයකු සම්බන්ධ වී නොමැති බවට තමන් විශ්වාසයෙන් හා වගකීමෙන් ප්‍රකාශ කරන බව පුනරුත්තාපන කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරාල් ජානක රත්නායක මහතා පවසයි.

“ඒ බව අපිට වාර්තා අනුවම පෙන්වා දෙන්න පුළුවන්.එකම එක අවස්ථාවක පමණක් දකුණු ප්‍රදේශයේ දී පමණක් එක් අයෙකු පාතාලයේ සිදුවීමකට සම්බන්ධ වෙලා තිබුණා. එච්චරයි.අපිට බැහැ කෙනෙක්ගේ මනස සම්පූර්ණයෙන්ම හදන්න. අපි 12190 දෙනෙක් පුනරුත්තාපනය කෙරුවට 100%ක්ම පුනරුත්තාපනය වුණා කියලා කියන්න බැහැ.“

“මේ වගේ සිදුවීම් දකුණෙත් වෙනවා.එහෙම එකේ නැවත එල්.ටී.ටී.ඊය හිස ඔසවනවා කියලා බොරු ප්‍රචාරය කරනවානම් ඒක ඒ අයගේ වෙනම න්‍යායක්.ඔවුන්ට වෙනම අරමුණක් තියෙන්න ඕන.  මිනිස්සුන්ගේ මනසට බොරු ප්‍රචාර නොදමා නැවත රට ආපස්සට නොයන්න කටයුතු කරන්න ඕනේ“

“තවත් පුනරුත්තාපනය නොවූ පිරිස් අපේ සමාජයේ ඉන්න පුළුවන් නමුත් දැන් යුද්දෙ ඉවර වෙලා වසර 08 ක්.මේ අය මේ සමාජයේ ඉඳලා නිකම්ම පුනරුත්තාපනය වෙලා ඉන්නේ.මේ සංවර්ධනය දැකලා මිනිසුන්ගේ වෙනස්වීම් දැකලා ඒ අයට ප්‍රචණඩකාරී නොවී ඉබෙම් යහපත් වෙන්න පුළුවන් කියලයි මම හිතන්නේ.  “යැයි ඒ මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව පැවසුවේ අද (15) වව්නියාව පූන්තොට්ටම් පුනරුත්තාපන කඳවුරේදී පුනරුත්තාපනය වූ හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින්ගේ ජීවන තත්ත්වය නගා සිටුවීමට කුකුල් පැටවුන් බෙදා දීමේ අවස්ථාවකට සහභාගී වෙමිනි.