’සයිටම් වහනවා හැර වෙනත් විසඳුමක් නෑ’


(ශ්‍රී ජයවර්ධනපුර මුදිතා දයානන්ද)

සයිටම් වෛද්‍ය උපාධි ආයතනය අහෝසි කිරීම හැර අද රටේ මතුවී තිබෙන සයිටම් විරෝධී ප‍්‍රශ්නයට වෙනත් විසඳුමක් නැතැයි මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සඳුදා (03) බත්තරමුල්ලේ දී පැවැසීය.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ලෙස මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා යළිත් පත් කරන ලෙස ඉල්ලා සිටි ඇමැතිවරයා එතුමා තනතුරෙන් ඉවත් කර සයිටම් ප‍්‍රශ්නයට විසඳුමක් ලබාගත හැකි යැයි සිතිය යුතු නැතැයි ආණ්ඩුවට මතක් කරන බව ද කීය.

ඇමැති චම්පික රණවක මහතා එසේ පැවැසුවේ ජාතික හෙළ උරුමය ප‍්‍රධාන කාර්යාලයේ දී ඊයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේ ද කීය.

”පෞද්ගලික විශ්වවිද්‍යාල සංකල්පයට අපි පක්‍ෂයක් ලෙස සම්පූර්ණයෙන්ම විරුද්ධයි. අධ්‍යාපනයේ නිදහස ද නිදහස් අධ්‍යාපනය ද කියන බොරු සංවාද දැන් හදාගෙන වැඩක් නැහැ. සිසුන් 12,000කගේ පමණ අධ්‍යාපනයේ ඉදිරි ගමන් මග මේ ප‍්‍රශ්නය නිසා වසරක් තිස්සේ නැවතිලා. ඒ නිසා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීරණයක් එනතුරු සිටිය යුතුත් නැහැ.

ශ්‍රේෂ්ඨාධිකරණය කරන්නේ මෙහි නීති ගැටලූ විසඳීම පමණයි. එහෙත් සයිටම් අද එයින් එහාට ගිය විශාල සමාජ දේශපාලනමය ප‍්‍රශ්නයක් බවට පත්වෙලා. මෙය යළි අසූනවයක් නිර්මාණය කරන තත්ත්වයක් දක්වා ගමන් කරන තුරු නොසිට සයිටම් නීත්‍යානුකූලව අහෝසි කර රජයේ විශ්වවිද්‍යාලයක් බවට පත් කිරීම දැන් ගත යුතු හොඳම තීරණයයි” යැයි ද ඔහු කීවේය.