’යහපාලන ගිවිසුම ඉවර වුණූ ගමන් ආණ්ඩුවෙන් යනවා’


(ජයන්ත සමරකෝන්)

යහපාලන ආණ්ඩුවේ ගිවිසුම් කාලය අවසන්වූ වහාම තමා ආණ්ඩුවෙන් මෙන්ම නියෝජ්‍ය ඇමැති ධුරයෙන් ද ඉල්ලා අස්වන බව ගම්පහ දිස්ති‍්‍රක් එක්සත් ජනතා සන්ධාන මන්තී‍්‍ර තැපැල් සහ මුස්ලිම් කටයුතු නියෝජ්‍ය ඇමැති ඩුලිප් විජේසේකර මහතා ”ලංකාදීප”යට බදාදා (12) පැවැසීය.

තමාගේ මෙම තීරණය පිළිබඳව ජනාධිපතිවරයා ද දැනුම්වත් කර ඇතැයි ද නියෝජ්‍ය ඇමැතිවරයා කීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් මැති ඇමැතිවරුන් 17 දෙනකු තමා දරණ මතයේම සිටින බව ද සඳහන් කළේය.

ජනතාව වෙනුවෙන් යමක් කිරීමට යහපාලන ආණ්ඩුව එක්ව තමාට මෙතෙක් එය ඉටු කිරීමට නොහැකි වී යයි කී විජේසේකර මහතා තමා කවදත් සිටින්නේ ගම්පහ ජනතාව සමඟ යැයි ද ඔහු කීවේය.

රටේ සම්පත් විකිණීම ශ්‍රීලනිප ප‍්‍රතිපත්තිය නොවන බවද විජේසේකර කියා සිටියේය.

දොම්පෙට කුණු ගෙනැවිත් දැමීමට එරෙහි විරෝධතාවයේදීත් තැපැල් වැඩ වර්ජන අවස්ථාවේදීත් තමා සිටියේ ජනතාව පැත්තේ බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.