’දේශපාලන භේදයකින් තොරව ඇතැමුන් මරණීය දණ්ඩනයට ලබා දීමට විරුද්ධ වුණා‘


(මුදිතා දයානන්ද )
 
මත්ද්‍රව්‍ය ජාවාරමෙන් සිදුවන මහා විනාශය වළක්වා ගැනීමට අඛණ්ඩව නායකත්වය දෙමින් මත්ද්‍රව්‍ය ජාවරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීමට පවා ජනාධිපති ලෙස අත්සන් තැබුවත් දේශපාලන භේදයකින් තොරව වගකිව යුතු පිරිස් ඊට එරෙහිව නැගී සිටීම හේතුවෙන් එම වැඩපිළිවෙළ සාර්ථක කර ගත නොහැකි වුණා යැයි  ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා අද (04)  පැවසීය.
 
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ නයිට් නාමයෙන් පිදුම් ලැබු විශේෂඥ වෛද්‍ය සරත් මැල්කම් සමරගේ මහතාට වෙනුවෙන් කොළඹ නාලන්දා  විද්‍යාලයේදි පැවති උපහාර උත්සවයට සහභාගී වෙමිනි.
 
එහිදි තවදුරටත් මෙසේද පැවසීය.
 
ලංකාවේ මත්ද්‍රව්‍ය උවදුර පිටුදැකීම සඳහා මා ආරම්භ කළ වැඩසටහන් සාර්ථක කැරගැනීමටද ඔහුගෙන් විශාව පිටුවහලක් මගපෙන්විමක් ලැබුණා. මා ජනාධිපතිවරයා ලෙස මත්ද්‍රව්‍ය උවදුරෙන් මේ රටට සිදුවන විනාශය දැක එය රටෙන් තුරන් කිරිමට විශේෂ වැඩසටහනක් ක‍්‍රියාත්මක කළා. කවුරුන් කෙසේ කීවද අප්‍රෙල් 21 පාස්කු දින ප‍්‍රහාරය පිටුපස තිබෙන්නේ මක්ද්‍රව්‍යවලට එරෙහිවිමක් යැයි මම විස්වාස කරනවා.
 

අපි පහුගිය අප්‍රෙල් මාසේදී බක්මහ දිවුරුම ලබාදෙමින් ප‍්‍රතිඥා දුන්නා මත් උවදුර පිටුදකින බවට. අපි ඒ දිව්රුම දුන්නා සේම කාගෙන් විරෝධතා එල්ල වුණත් මත් උවදුරෙන් තරුණ පරපුර විනාශ වීම වළක්වා ගැනීමට පියවර ගත යුතුයි. මොන බාධක ආවත් මතට එරෙහිව අප ගෙන ගිය ව්‍යාපාරය ජයග‍්‍රහණ රැසක් අත්පත් කරගත්තා.


 

(ඡායාරූප රොමේෂ් ධනුෂ්ක සිල්වා )