‘‘විදුලිය - ප්‍රවාහන ගාස්තු වැඩිකිරීමේ අදහසක් නෑ‘‘


(චමිල් රූපසිංහ)

තම අමාත්‍යාංශ යටතේ පවතින ආයතන 19  අතරින් වැඩි ප්‍රමාණයක් පාඩු ලබන ඒවා බවත් පාඩු ලබන තත්ත්වයේ තිබුණද කිසිඳු අවස්ථාවක විදුලිය හෝ ප්‍රවාහන ගාස්තු වැඩි කිරීමේ අදහසක් නොමැති බවත් ප්‍රවාහන කලමනාකරණ , විදුලි බල හා බල ශක්ති ඇමැති මහින්ද අමරවීර මහතා පැවසීය.

අමාත්‍ය ධූරයේ වැඩ භාර ගැනීමෙන් පසු අද (15) ශ්‍රී දළදා මාලිගාවට පැමිණි ඇමතිවරයා දළදා සමිඳුන් වැඳපුදා ගැනීමෙන් අනතුරුව මල්වතු මහ විහාරයට ගොස් මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.

සරුංගල්,වෙසක් කූඩු සහ හඳුන් කූරු අපනයනය කරන ප්‍රමාණය මෙන් දෙගුණයක් ආනයනය කරන බවත් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ පාලන සමයේදී ආනයනය කළ ප්‍රමාණය මෙන් දෙගුණයක් අපනයනය කළ බවත් අද වනවිට එය මුළුමනින්ම කනපිට හැරී තිබෙන බවත් මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

ළමයින්ට සරුංගලයක්,වෙසක් කූඩුවක් හදා ගැනීමට නොහැකි වී තිබෙන්නේ මේ නිසා බවත් සියලු දෙනා උනන්දුවී කැපවීමෙන් වැඩ කරනවා නම් මේ පාඩු ලබමින් රජයට බරක් වී තිබෙන ආයතන ගොඩ නැගීම අසීරු නොවන බවත් එහිදී මල්වතු මහනාහිමියෝ අමාත්‍යවරයා හමුවේ පැවසූහ.

අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙසේද කිය.

    ‘‘විදුලි බල මණ්ඩලය එක් විදුලි ඒකකයක් වෙනුවෙන් රුපියල් 23.00 ක මුදලක් වැය කරන අතර අඩු අදායම් ලාභීන් ගෙන් එක් විදුලි ඒකකයක් වෙනුවෙන් අය කරනු ලබන්නේ රුපියල් 2.60 ක් වන බවත් සමස්තයක් ලෙස මෙම ඒකකයක් වෙනුවෙන් මණ්ඩලයට ලැබෙන්නේ රුපියල් 16.00 ක මුදලක් බවත් ඒ මහතා සඳහන් කළේය.

මේ අකාරයට සාධාරණ හේතුමත පාඩු ලබන ආයතන තිබෙන බවත් මෙයට අමතරව නාස්තිය , වංචාව , දූෂණය , නිසි වේලාවට විදුලි බලාගාර ඇති නොකිරීම වැනි කරුණු මතද ආයතන පාඩු ලබන බවත් ඔහු පැවසීය.

විදුලි බල මණ්ඩලය,ලංගම,ඛනිජ තෙල් සංස්ථාව හා දුම්රිය දෙපාර්තුමේන්තුව තුළ ඇතිව තිබෙන වංචා දූෂණ සම්බන්ධව නිසි පරීක්ෂණයක් සිදුකර සියලු තොරතුරු හෙළි කර වැරදිකරුවන්ට එරෙහිව තරාතිරම නොබලා නීතිමය ක්‍රියා මාර්ග ගන්නා බවත් සාධාරණ හේතු නොමැතිව රාජ්‍යය ආයතන පාඩු ලැබීමට දේශපාලනඥයින් මෙන්ම නිලධාරීන්ද වගකිව යුතු බවත් ඒ මහතා කීය.

පාඩු ලබන ආයතන ඇති අමාත්‍යාංශ කිහිපයක්ම තමන් ලාභ ලබන තත්ත්වයට පත්කර තිබෙන බවත් එලෙස පාඩු ලැබූ  ධීවර අමාත්‍යාංශය තමන් ලබා ගැනීමෙන් පසු ලාභ උපයන මට්ටමට පත්කර ස්ථිර ගිණුමක්ද ඇති කළබව ඒ මහතා පැවසීය.

අද එය විනාශ වී තිබෙන බවත් අමාත්‍යාංශයේ ඇමැතිවරයා ඇතුළු ඉහළ පිරිස් වංචා දූෂණ කරන්නේ නම් පහළ සිටින අයද එයම සිදු කරනවා අද ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වංචාවෙන්, දූෂණයෙන්, සොරකමෙන් තොර රටක් ගොඩ නැගීමට ගන්නා වෑයමට සියලු සහය ලබා දෙන බවත් ඒ මහතා එහිදී කීය.