‘‘විදුලි බල සංශෝධන පනත බලාත්මකයි‘‘


(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )

ශ්‍රී ලංකා විදුලි බල (සංශෝධන) පනත් කෙටුම්පත අද සිට බලාත්මක විය.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ශ්‍රී ලංකා විදුලිබල( සංශෝධන) පනත් කෙටුම්පතට පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි සිය කාර්යාලයේදී  අද සිය සහතිකය සටහන් කළ අතර කෙටුම්පත බලාත්මක වූයේ ඒ අනුවය.

ශ්‍රී ලංකා විදුලි බල (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී පසුගිය (09) වැනිදා වැඩි ඡන්දයෙන් සංශෝධන රහිතව සම්මත විය.

යම් තැනැත්තකුට විදුලිබලය උත්පාදනය කිරීමේ බලපත්‍රයක් නිකුත් කිරීම සඳහා ඉල්ලුම් කිරීමට සුදුසුකම් ලබාදීම මෙම පනත් කෙටුම්පත මගින් සිදු කෙරේ.

ඒ අනුව යම් තැනැත්තකුට උත්පාදන ධාරිතාව මෙගාවොට් 25 ඉක්මවා විදුලිබලය උත්පාදනය කිරීමට බලපත්‍රයක් නිකුත් කිරීම සඳහා ඉල්ලුම් කිරීමට ඇති සීමා ඉවත් කිරීම මෙන්ම උත්පාදන ධාරිතාව පිළිබඳ යම් සීමා නියම කිරීමකින් තොරව ඕනෑම තැනැත්තකුට ඒ සඳහා ඉල්ලුම් කිරීමට අවසර ලබාදීමද සිදු කෙරෙනු ඇත.

කතානායකවරයා සහතිකය සටහන් කිරීමත් සමග ශ්‍රී ලංකා විදුලි බල (සංශෝධන) පනත 2022 අංක 16 දරන පනත ලෙස ශ්‍රී ලංකාවේ නීති පද්ධතියට එක්වන බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.