(විනීතා එම් ගමගේ)
මැතිවරණ සාධාරණව පැවැත්වීමට ඉවහල් වන අපේක්ෂකයන්ට වියදම් කළ හැකි උපරිම සීමා ඇතුළත් නීති කෙටුම්පත ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට පෙර සම්මත කර ගැනීමට ක්‍රියා කරන්නැයි පැෆරල් සංවිධානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.
එම නීති කෙටුම්පතට මේ වනවිට නීතිපති දෙපාර්තමේන්තුවේ අනුමැතිය ද මේ වනවිට ලැබී ඇති බැවින් මෙම කාර්යය ඉතා පහසු වනු ඇතැයි ද පැෆරල් සංවිධානය ජනාධිපතිවරයා වෙත ලිපියක් යවමින් පෙන්වා දී තිබේ.
එමෙන්ම බොහෝ කල් ඉක්මවා ඇති පළාත් සභා මැතිවරණය ඉක්මණින් පවත්වන්නැයි ද එම ලිපිය මගින් ඉල්ලා ඇත.
ජනාධිපති ධූරයට පත්වීම පිළිබඳව සුබපැතුම් එක් කරමින් ජනාධිපතිවරයා වෙත පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා විසින් යවන ලද ලිපියේ මේ බව සඳහන් වන අතර පරිසර හිතකාමීව හා නිදහස් සාධාරණ ලෙසින් මැතිවරණය පැවැත්වීමට ගත් පියවර ගැනද එයින් ස්තුතිය පළ කර තිබේ.
කැබිනට් මණ්ඩලය සීමා කිරීම දේශපාන ඡායාරූප වෙනුවට රාජ්‍ය ලාංඡනය ප්‍රදර්ශනය කිරීම පෞද්ගලික කාර්ය මණ්ඩලය හා වාහන සීමා කිරීම රාජ්‍ය සේවකයන්ගේ විදේශ ගමන් සීමා කිරීම වැනි පළමු දින කිහිපය තුළ ගනු ලැබූ තීරණ පිළිබදව ද ප්‍රසාදය පළ කරන බව එම ලිපියේ සඳහන් ව ඇත.
පළාත් සභා මැතිවරණය පැවැත්වීම කෙරෙහි අවධානය යොමුකෙරෙනු ඇතැයි ද අපේක්ෂා කරන බව එම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

