”ස්නේහා” ස්නේහයේ කතාව ලතාවකට කියන්නීය. ඒ, කැලූම් පාලිත මහීරත්න ටෙලි තිරයට ගෙතූ, හිරු ඔස්සේ විකාශය කෙරෙන ”ස්නේහා” ටෙලිනාට්‍ය මාලාව වෙතිනි. ස්නේහයේ ජීවන කතාව කියන ඈ උපේක්‍ෂා ස්වර්ණමාලිනීය. අද දවසේ උපේක්‍ෂාගේ සැබෑ ජීවිතයේ ස්නේහයේ කතාව ගලා යන්නේ කෙසේද? ස්නේහා සමග ආලින්දයට පැමිණෙන ඇය මේ මුහුණන්නේ ඒ සැබෑ ජීවිතයේ කතාවය.
උපේක්‍ෂා කියන්නද? ස්වර්ණමාලිනී කියන්නද? ඔබ වැඩිය කැමති කොයි විදියට අමතනවටද?
කවුරුත් කාටත් අමතන්නේ මුල් නමින්නෙ. මගේ මුලට එන නම උපේක්‍ෂා. ඒත් ස්වර්ණමාලිනි නමටත් මම ආසයි. නමුත් උපේක්‍ෂා කියලා කියන එක හොඳයි.
ගෙවීගිය ජීවිතය ගැන අද ඔබට හැෙඟන්නෙ කොහොමද?
ජීවිතය වචනවලට පෙරළන්න හරි අමාරුයි. අද වන විට මගේ ජීවිතය දිහා බැලූවොත්, මටම පුදුම වන තරමට මම ශක්තිමත් වෙලා. කාන්තාවකට මානසික ශක්තිය බෙහෙවින්ම වැදගත්. අද මම ඒ වගෙයි. මනස හිත ශක්තිමත්.
ඇයි මීට පෙර එහෙම වුණේ නැද්ද?
අවුරුදු විසි ගණන් ලබද්දී ජීවිතය බොහොම සැහැල්ලූවට ගත්ත කෙනෙක් වුණා. ඒත් අද එහෙම නැහැ. ජීවිතයේ බැ?රුම් බව දැනෙනවා. ඒත් ඉදිරිය තීරණාත්මක බවයි දැනෙන්නෙ. ජීවිතයට බද්ද වෙලා තියෙන දේශපාලනය, කලාව, වෘත්තීය කටයුතු, සමාජ සේවය (යම්තාක් දුරකට) අධ්‍යාපනය මේ සියල්ල සමග යම්කිසි ව්‍යාකූල බවක් දැනෙන්නෙ. ආගම-දහම සහ අධ්‍යාත්මය හැර, ඒ ව්‍යාකූල බවත් එක්ක ගෙවී යන ජීවිතයේ සියල්ල කාලයට ඉඩදීලා, බුද්ධිමත්ව හිතට එකඟව තීරණ ගත යුතු කාලයක් එළැඹෙන්නෙ.
ජීවිතය අරගලයක් කියලද කියන්නෙ?
විටෙක අරගලයක්, සටනක්, ප‍්‍රහේලිකාවක්. නමුත් වඩාත් වැදගත් වන්නෙ තමන් සමාජයට හානි නොකර තමුන්ට හානියක් නොකරගෙන තමන්ට වැදගත් වන පරිදි, තෘප්තිමත්ව ජීවිතය ගත කිරීම මගේ ප‍්‍රයත්නයයි.
ඔබ ජීවිතයේ තෘප්තිමත් වන්නේ මොනවායින්ද?
එය එක එක පුද්ගලයාට අනුව සාපේක්‍ෂවන දෙයක්. දෙකෝටියක පමණ ජනතාවක් සිටින රටේ මාත් එක් චරිතයක් විතරයි. ජීවිතයේ සියල්ල අතිසාර්ථක නොවෙන්න පුළුවනි. නමුත් ඒ සමබර ජීවිතයට මම ආසයි. උපේක්‍ෂා ස්වර්ණමාලීනි, උපේක්‍ෂා ස්වර්ණමාලීනීව විඳිනවා. මට මගේ වටිනාකම දැනෙනවා. ඒක ආත්මාර්ථකාමී බවක් නෙවෙයි. කුඩා කාලයේ ඉඳලාම මම පීනන්න පුරුදු වෙලා හිටියා. චිත‍්‍ර අඳින්න ආසා කළා. නැවතත් ඒකට කාලය යොදා ගෙන. යම් තරමක සමාජ සේවයෙත් යෙදෙනවා. මේ දේවල් වෙතින් තෘප්තිමත් වෙනවා.
අද ඔබට හිතෙන්නෙ නැද්ද දේශපාලනය නොකර කලාවම කළා නම් හොඳයි කියලා?
සෑම දෙයකම හොඳ පැත්ත වගේම නරක පැත්තකුත් තියෙනවා. අපි කළ යුත්තේ මොන පැත්තේ හිටියත් හොඳ හඳුනාගෙන එයින් සේවයක් කිරීමයි. කලාවට හෝ දේශපාලනයට හෝ තවත් ඕනෑම දෙයකට මම ලෝභ නැහැ. මොකද සෑම දෙයක්ම ඇතිවෙලා-නැතිවෙලා යනවා. ඒ දහම මම හඳුනනවා. ඒත් ඒවා පරාජයන් ලෙස බාර ගන්න මම කැමති නැහැ. ජීවිතය කොතැනින් හෝ අරඹාවි. මගේ ගතේ ශක්තිය තියෙනතාක් එහෙම කරාවි. දැන් මට 30 යි. පුද්ගලික ජීවිතයේ මම දික්කසාද වූ කෙනෙක්. හැමෝටම හැම දෙයක්ම ලැබෙන්නෙත් නැහැනෙ. නමුත් ලැබුණු දෙයට වටිනාකමක් දීමට මම කැමතියි. අනෙක් ජීවිත එක්ක මම සසඳන්නෙ නැහැ. ඒත් ආත්ම ශක්තිය හරි වැදගත්.
ඉදිරි ගමන ගැන හිතෙන්නෙ කොහොමද?
පැහැදිලිවම ඒ ගමන මම හඳුනාගත යුතුයි. දැන් මම සිටින්නෙ මගේ ජීවිතයට වග කියන වයසක. දැන් කාටවත් ඒ ජීවිතයට බලපෑම් කරන්න මම ඉඩ තියන්නෙ නැහැ. ගැටලූ මැද්දෙ හරි ගෙවෙන ජීවිතය මට සුන්දරයි
.
ඔබ වැඩිපුර කැමති දැන් මේ ගෙවන ජීවිතයටද? නැතිනම් බිරිඳක, මවක වී ගෙවන ජීවිතයකටද?
ආසියාතික කාන්තාවක ලෙස ජීවිතය ගත කළ යුතු විදියක් සම්ප‍්‍රදායයක් සහ සංස්කෘතියක් තියෙනවා. ඒ පරිසරය ඇතුළේ සෑම කාන්තාවකම බලාපොරොත්තු වන අරමුණු සහ සම්ප‍්‍රදාය තමයි මටත් තියෙන්නෙ.
පිරිමි සමාජය ඔබට ලොල් කරන්නෙ ඔබගෙ රූ සපුව නිසා කියලද හිතන්නෙ?
ඒක සාමාන්‍ය දෙයක්. පිරිමියකුට කාන්තාවක් ලස්සනම වෙන්න ඕනෑ නැහැ. ආච්චි අම්මා කෙනෙක් උසාවි ඇවිත් හිටියා. ඇයි දන්නවද? ඇයව දූෂණය කරලා. ඉතින් බලන්න මම කියන කතාව හරි නේද? රූපයටත් අගයක් තියෙන බව ඇත්ත. ඊළඟට කරන්නෙ වර්ණනා කරන එකයි. මොන විදියට වුණත් ඒ පිරිමි සමාජයෙන් ලැබෙන ප‍්‍රතිචාරවලට සහ අනෙකුත් අයගේ ප‍්‍රතිචාරවලට මම ගරු කරනවා. මොකද මට ජීවිතයට ලබා ගත හැකි බොහෝ දේ ඒ සියල්ලෙහි තියෙන නිසා.
අද ඔබ වැඩිය රඟපාන්නෙ නැත්තෙ?
”ස්නේහා” දීර්ඝ නාට්‍යයක්. කොහොමටත් මගේ හැටි එහෙමයි. ඒක දීර්ඝ නාට්‍යයක රඟපාද්දී තව ගොඩක රඟපාන්නෙ නැහැ. එදා අතිශය ජනප‍්‍රිය වූ ”පබා” නැවත විකාශය වෙනවා. සින්ඩරෙල්ලා සහ මායා චිත‍්‍රපට තිරගත වීමට නියමිතයි.
වෙනත් චරිත ලැබුණොත් බාර ගන්නවද?
අනිවාර්යෙන්ම ඔව්. රංගනය මගේ ආත්මයට මියෙනතාක් බද්ද වූවක්. මම ඒකට ගරු කරනවා.



