‘‘නැ'හිර ආර්ථිකය ගොඩනගන්න මඩකලපු ගුවන් තොටුපොළ උපකාර වෙනවා‘‘


(ටී.එල්.ජවුෆර් ඛාන්)

යුද්ධයෙන් විනාශ වූ  නැගෙනහිර පළාතේ  ආර්ථිකය නගා සිටුවීමට මඩකලපුව ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වඩා උපකාරවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (04) මඩකලපුවේ දී පැවසීය.

මඩකලපුව  ගුවන් තොටුපොළ ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් ලෙස උසස් කිරීම සම්බන්ධව කටයුතු කරන නිලධාරීන් කණ්ඩායමක් සමඟ සාකච්ඡා කිරීමට අගමැතිවරයා අද මඩකලපුවේ සංචාරයක නිරත විය.

පලාලි ගුවන්තොටුපොළ ප්‍රථමයෙන් ජාත්‍යන්තර ගුවන්තොටුපොළක් ලෙස  උසස් කෙරෙන අතර මඩකලපුව ගුවන් තොටුපොළත් ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් ලෙස  පරිවර්තනය වූ විට ඉන්දියාවේ සිට  ගුවන්යානා මඩකලපුවට ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ඍජුව පැමිණේ.

සංචාරක කර්මාන්තය  සංවර්ධනය වූවොත් ආර්ථිකය දියුණු වන බවත් මඩකලපුව දිස්ත්‍රික්කයේ තිබෙන සංචාරක නිකේතන ශක්තිමත් වන බවත් සංචාරකයින්ගේ පැමිණීම වර්ධනය වන බවත් අගමැතිවරයා එහිදී පැවසීය.

මෙම ගුවන්තොටුපොළ ජාත්‍යන්තර තත්ත්වයට පත් කිරීමේ ප්‍රධානතම හේතුව සංචාරක කර්මාන්තය  සංවර්ධනය කිරීම බවද හෙතම වැඩිදුරටත් සඳහන් කළේය.

මඩකලපුව දිස්ත්‍රික්කයේ සංචාරක  නිකේතන හිමිකරුවන් සමඟ අග්‍රාමාත්‍යවරයා සාකච්ඡා කළ අතර  එම අවස්ථාවට  මඩකලපුව දිස්ත්‍රික් මහ ලේකම් මානික්කම් උදය කුමාර් මහතා,සංචාරක කර්මාන්තයේ හා ගුවන් තොටුපොළ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.