ගම්පහ - වේයන්ගොඩදී පැවැති ජාතික සාහිත්‍ය හා කලා ප‍්‍රසාදිනී උළෙලේදී තමන්ට මහත් අසාධාරණයක් සිදු වූ බව අගනුවර තරුණ කවි සමාජයේ කවි කිවිඳියෝ ප‍්‍රකාශ කරති.
මෙම සාහිත්‍ය උළෙලේදී ”කවි මඩුව” පැවැත්වීමට නියමිතව තිබුණේ 30 වැනි ඉරිදා පස්වරු 4.30 සිට 6.30 දක්වා කාලයයි. ඒ බව දන්වා සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ප‍්‍රවර්ධන) එච්.ඞී.එස්. මල්කාන්ති මහත්මියගේ අත්සනින් යුතුව අගනුවර තරුණ කවි සමාජයේ ප‍්‍රධාන සංවිධායක සේන ගණේවත්ත මහතාට ලිපියක් ද යවා ඇත.
නමුත් පසුව අමාත්‍යාංශය මගින් දන්වා ඇත්තේ කවි මඩුව අවලංගු කළ බවයි. ඒ බව දන්වා ඇත්තේ පැය කීපයකට කලිනි.
මේ ක‍්‍රියාවට කවීන් දැඩි විරෝධය එල්ල කිරීම නිසා එදිනම පෙරවරු 10ට කවි මඩුව පවත්වන ලෙස සංස්කෘතික අමාත්‍යාංශය මගින් දන්වා තිබේ. ඒ අනුව එම වේලාවට කවි මඩුව පැවැතිණි. දිවයිනේ නන් දෙසින් ප‍්‍රකට කවි කිවිඳියන් 12 දෙනකු සහභාගි වූ නමුත් අසන්නන් සිටියේ දස දෙනෙකි.
ගුණවංශ අල්ගම කවියා
කවි කිවිඳියන් එක් රොක් විය සතර අතින්
කවි කිව නොහැක අතලොස්සක් සිටිය හොතින්
නැත දස දෙනෙකු කවි ඇසුමට බැලූව නෙතින්
අත්පුඩි අපිම ගහ ගන්න ද අපගෙ අතින්
සේන ඇතුගල්පුර කවියා
හෝරා දෙකක් ගත විය මගහැරුණි විඩා
නැතුවට අසන්නන් ඒ ගැන මොට ද හඬා
හිස් ඔළු දහස් ගනනක් තියෙනවට වඩා
අපි ගරු කරමු මේවැනි පිරිසකට කුඩා
මේධා රත්නායක මෙනවිය
ලෝවැඩ සඟරාව, ගුත්තිල සුභාෂිත
පාසල් ගිය ළමෝ එදවස කියව ඇත
අද ඒ වගේ පොත් පරිශීලනය නැත
සෝදාපාළු වී ඇත කවි කලා කෙත
වරපලාන ජයවර්ධන කවියා
මතකයි තිහාරිය මහකවි ගුණ මදර
අපි කවි කියා නැත පෝෂණයට උදර
කවියන් සමග කරමින් හුරු පිළිසඳර
මට ජය බිමකි කවදත් පත්තලගෙදර
මෙම කවි මඩුවේ මුලසුන හෙබවූයේ සේන ගණේවත්ත කවියායි. ඔහුගෙන් කළ විමසීමකදී කියා සිටියේ කවි කලාවට එල්ල වන කුඩම්මාගේ සැළකිල්ල එන්න එන්නම දරුණු වන බවයි.
”ජාතියේ අවාසනාවට කවිය අහන්න කෙනෙක් නැහැ. අපේ කවිය පිළිගන්නේ නැහැ. හැම කලාවකටම අනු මණ්ඩල තිබුණත් කවියට අනු මණ්ඩලයක් නැහැ. සාහිත්‍ය උළෙලේ පවත්වන්නට තිබුණු කවි මඩුව අවලංගු කළා කියා පැය කීපයකට පෙර කියනවා, ඊට වඩා හොඳයි අපට වහ කුප්පියක් දුන්නා නම්. අපි කවිය හුරු වුණේ අම්මගේ කුසේ ඉන්න කාලෙ ඉඳලා. අම්ම අපට කිරි පෙව්වේ කවි කියමින්. කවිය අමතක කිරීම මොන තරම් අසාධාරණ දැයි ඔහු ප‍්‍රශ්න කළේය.
රට වටින් කවියන් 12ක් පැමිණ සිටිය ද කවි අහන්නට සිටියේ 10 දෙනකු පමණි. සේන ගණේවත්ත කවියා කවි මඩුව අවසන් කළේ මෙසේය.
කිවිවරු එකතු වුණු තැන රස අවුස්සතී
හිනැහෙන්නට පුරුදු නැති අය හිනස්සතී
හිස් මුදුනට පැමිණ සිටියි දහස්පතී
ඉවරයි කවි මඩුව නාඬන් සරස්වතී