‘සෙල්ලම් නිරිඳු’ සමඟ කරළියට එන මනෝ


 

 

දශක හතරකට වැඩි කාලයක් වේදිකාවේ ඇලී ගැලෙමින් නාට්‍ය කලාව ප‍්‍රාණ හා සරිකොට ගත් ජයලත් මනෝරත්න නම් වූ නාට්‍යවේදියා සිය නවතම නාට්‍ය නිර්මාණය ”සෙල්ලම් නිරිඳු” නමින් මෙම 11 වැනි දා බදාදා සවස කොළඹ බිෂොප් විද්‍යාලයේ රංගශාලාවේදී රංගගත කිරීමට සැදීපැහැදී සිටී.

 

මහගිරිදඹෙන් ආරම්භ වූ මනෝගේ නාට්‍ය චාරිකාවට මේ වන විට නාට්‍ය එකොළහක් එකතු වී ඇති අතර ”සෙල්ලම් නිරිඳු” මනෝගේ 12 වැනි නාට්‍යයයි. ජනකතා, ජනනාට්‍ය ඇතුළු විවිධ ජනශ‍්‍රැතීන් ඇසුරු කරගත් මනෝගේ නාට්‍ය වාර්තා රංග රීතිය ඔස්සේ  නිර්මාණය වී ඇත. ”සෙල්ලම් නිරිඳු” නාට්‍යය ද එම රීතිය ඔස්සේම නිර්මාණය වූ  නාට්‍යයක් වන අතර මෙය මනෝ භාවිතකරන්නේ ඉතාමත් සූර අන්දමින්ය. මනෝගේ ආත්මය හා බැඳුණු වාර්තා රංග රීතිය හා සෙල්ලම් නිරිඳු පිළිබඳව මනෝ පවසන්නේ මෙවැන්නකි.

”මම සෙල්ලම් නිරිඳු සඳහා පාදක කරගත්තේ ඓතිහාසික පුරාවෘත්තයක්.  හෙළ රාජ වංශයේ අවසාන සිංහල රජු ලෙස සැලකෙන ශ්‍රී වීරපරාක‍්‍රම නරේන්ද්‍රසිංහ රජතුමාගේ රාජ්‍ය කාලසීමාව තුළ දේශපාලනික වශයෙන් උද්ගත වූ යම් යම් සිද්ධීන් සහ ඔහුගේ මානව සම්බන්ධතා. විශේෂයෙන්ම ඔහුගේ පෞද්ගලික ජීවිතය හා බැඳුණු ආදරය වැනි සංවේදාත්මක සිද්ධීන්, ජීවන චර්යාවන්, මිතුරු ඇසුර  ඔස්සේ ඔහු විඳි අත්දැකීම් මෙම නාට්‍යය ඔස්සේ විවරණය කෙරෙනවා”.
”එක්තරා සනාතන දහමක් මෙම නාට්‍යය ඔස්සේ මා ගෙනහැර දක්වනවා. ඒ කුමන කාලයක වුවත් ආදරය, සෙනෙහස, අවංකත්වය හා පරාර්ථකාමිත්වය වැනි සංසිද්ධීන්ගේ යථාර්ථය ය. මේවා 18 වැනි සියවසේ මුල්භාගයේ සිදුවුවත් 21වැනි සියවසේ සිදුවුවත් එක හා සමානයි. එම සංවේදනා විශ්ව සාධාරණයි.”
එසේ කියන මනෝ සෙල්ලම් නිරිඳුහි රංග විලාශය පිළිබඳව පවසන්නේ මෙවැනි අදහසක්.

 සෙල්ලම් නිරිඳු පිටපතෙහි නාට්‍ය ආකෘතිය රංගනය මත දිගහැරි ඇත්තේ අතිශය ස්වාධීන විලාශයකින්. කවියකු ඉතිහාසකරුවකු එක්වී ගොඩනංවන නාඩගම් පිටපතක විලාශයෙන් මෙහි නාට්‍ය සංදර්භය සැකසී තිබෙනවා. මහාචාර්ය සරච්චන්ද්‍රයන්, දයානන්ද ගුණවර්ධනයන් ගෙනහැර දැක්වූ විදග්ධ නාට්‍ය ස්වරූපය මෙයට ද ආදේශ කරගෙන තිබෙනවා. ජනශ‍්‍රැති, ජනනාද රටා, ජන නැටුම් මෙහි නාට්‍ය ආකෘතිය සැකසීමේදි උපයෝගී කරගත්තා. එමෙන්ම පොතේ ගුරු භූමිකාව නවීකරණය  කර තිබෙනවා. නර්තන රටා සහ ගායනා විලාශය සංයෝග කර ගනිමින් රංගානුභූතිය සකස්කරගෙන තිබෙනවා.

 

 

 


 වාර්තා රංගනය මෙන්ම එවැනි නාට්‍ය පිටපතක් නිර්මාණය කිරීම ද ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. ඒ පිළිබඳව බොහෝ දෑ එකතු කරගත යුතු නිසා මෙම දුෂ්කර කාර්යයට අද බොහෝ දෙනෙක් අතනොගසති. ඒ අද විප‍්‍රකාර දේ නිර්මාණයෙන් අතමිට ලෙහෙසියෙන් සරුකරගත හැකි හෙයිනි. මෙම දුෂ්කර කාර්යය පිළිබඳව විස්තර කරන මනෝ:

”මෙහි පිටපත රචනා කරන්න මට වසර දෙකක පමණ කාලයක් ගියා. ඒ ඉතිහාසය හා ජනප‍්‍රවාදය යන අංශ දෙකම යහමින් පරිශීලනය කිරීමට අවශ්‍ය වූ නිසා. මෙහිදී ග‍්‍රන්ථ රාශියක් ඇසුරු කළා. ඉතිහාසය හා සාහිත්‍ය නිර්මාණයන්ට අමතරව ජනකවිය, ජනකතා ඇතුළු ප‍්‍රවාද කිහිපයක්ම ගවේෂණය කළා. එක පැත්තකින් ඓතිහාසික සැබෑ සිදුවීම්, සැබෑ චරිත, සැබෑ පරිසරය මෙන්ම අප සංස්කෘතියට බද්ධ වී ඇති කාල්පනික ප‍්‍රවාහයන් ද නිර්මාණකරණයෙහි ලා උපයෝගී කර ගැනීමට වෙහෙස දැරුවා.

 



ශ්‍රී වීර පරාක‍්‍රම නරේන්ද්‍රසිංහ රජතුමාගේ ඉතිහාස කතාව කියවද්දි අපට කියවන්න ලැබුණු දස්කොන් චරිතය ඉතිහාසයේ නොමැකෙන චරිතයක්. සෙල්ලම් නිරිඳු නාට්‍යයේ ප‍්‍රධාන භූමිකාවක් නිරූපණය කරමින් මනෝරත්නයන් රඟන්නේ එම දස්කොන් චරිතයයි. මනෝ මේ චරිතය දකින්නේ කෙසේද? එයට ප‍්‍රතිචාර දක්වන මනෝ:


 ”මා රඟපාන්නෙ පෙඞ්රෝ ගැස්කොයින් නම් වූ අධිකාරම් දස්කොන්ගේ චරිතයයි. දස්කොන් යනු නරෙන්ද්‍රසිංහ රජුගේ බිසවු සුමිත‍්‍රා සමග ආදර සම්බන්ධතා පැවැත්වූ අධිකාරම් කෙනෙක්. මෙය සංකීර්ණවූත් අතිශයින් සූක්‍ෂ්මවූත් මනෝභාවයක්. මෙයින් මතුවන නාට්‍යමය අවස්ථාවෙන්ම නාට්‍යමය ආතතිය පේ‍්‍රක්‍ෂකයා සුන්දර ලොවකට කැඳවාගෙන යන්නක්. එය ලෝකය අපූර්ව ආකාරයෙන් අලූතින් දැකීමට මං විවර කරන්නක්.”

”මෙහි ඇඳුම් පැළඳුම් නිර්මාණය කරන්නේ නාට්‍ය රැසකට ඇඳුම් නිර්මාණය කර අත්දැකීම් රැසක් ඇති සුවිනීතා පෙරේරායි. 18 වැනි සියවසට ගොස් එවකට පැවති ඇඳුම් ආකෘති නිර්මාණය කරමින් මේ සඳහා දායකවීමට සුවිනීතා සැදීපැහැදි සිටිනවා. මනෝ පවසයි.

මනෝගේ  නාට්‍යවල බහුලව දකින්ට ලැබෙන ලක්‍ෂණයක් වන්නේ ඒවායේ පවත්නා නිර්ව්‍යාජ භාවයයි. දෙහිපේ පිටිසර ගම්මානයේ සුන්දරත්වය තවමත් මනසින් විඳින මනෝ ස්වකීය නාට්‍යය ඔස්සේ මෙම නිර්ව්‍යාජ ගැමිකම මුදාහරියි. එමෙන්ම මහා නාට්‍යකරුවන්ගේ නාට්‍යවල රඟපෑමෙන් ඔහු ලත් ආවේශය ද මනෝගේ නාට්‍යයන් තුළ මැනවින් දක්නට ලැබෙයි. කෘතිම නොවූ එහෙත් මස් ලේ ඇති අපූරු චරිත වේදිකාව ඔස්සේ මවන මනෝ සෙල්ලම් නිරිඳු ඔස්සේ ද පේ‍්‍රක්‍ෂකයාට සමීප වන්නේ නිර්ව්‍යාජ ගැමියකු ලෙස හා ප‍්‍රබුද්ධ රසිකයකු ලෙසයි.

 



 සෙල්ලම් නිරිඳු හා ශ්‍රී වීරපරාක‍්‍රම නරේන්ද්‍රසිංහ රජුගේ චරිතයට පණදෙන්නේ නලින් ප‍්‍රදීප් උඩවෙල නම්වූ නිර්ව්‍යාජ නළුවායි. රජුගේ බිසව ලෙස රඟපාන්නේ වේදිකාව දිග්විජය කළ නිළියක වන මාදනි මල්වත්තගේයි. මොනරවිල බිසව ගංගා පරණවිතානයි. යාලේගොඩ අධිකාරම ප‍්‍රසන්න  ෆොන්සේකායි. ඒ දඬුවාවේ අධිකාරම ජගත් බෙනරගමයි. කිරිවවුලේ අධිකාරම සංජීව දිසානායකයි, ලෙව්කේ අධිකාරම ජයන්ත මුතුතන්ති‍්‍රයි, බෙරගමුවේ අධිකාරම දේවින්ද වික‍්‍රමසිංහයි. ජාකෝවේ  ගොන්සල්වේස් පියනම සුනෙත් ශාන්තයි.

සරත් කරුණාරත්න, නිමල් යටිවැල්ල, නිමල් ජයසිංහ, අකංලක සුභාෂ්වර, සෝමපාල පතිරගේ, වික‍්‍රම අත්තනගම සෙසු චරිත රඟපාති.
 සෙල්ලම් නිරිඳුහි සංගීත නිර්මාණය හා අධ්‍යක්‍ෂණය ජානක ෆොන්සේකාගෙනි. නැටුම් නිර්මාණය කර ඇත්තේ රවිබන්දු විද්‍යාපතියි. ඉදිරිපත් කරන්නේ 80 කණ්ඩායමයි. සෙල්ලම් නිරිඳු අප වෙත ගෙන ඒමට  අර්ථපතිත්වය දක්වා ඇත්තේ කැලණිය විශ්වවිද්‍යාලයීය 78x82 ආදි විද්‍යාර්ථින්ගේ සංසදය සහ කැලණිය විශ්වවිද්‍යාලයීය ආදි විද්‍යාර්ථීන්ගේ සංගමයයි.