‘සැකකරු මුදාහැරීමට ලලිත් ජයසිංහ උපදෙස් දීලා‘


(සිරාජ් හසීම්)

විද්‍යා සිසුවිය ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් පසු සාක්කි නැති බව කියමින් ප්‍රකාශ සටහන් කරගැනීමක් පමණක් සිදුකර මුදාහැර ඇති බවත් එසේ සිදුකර ඇත්තේ උතුරු පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතාගේ උපදෙසින් යැයි යාපනය දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා තමන් හා පැවසූ බවත් යාපනය කොට්ඨාස බාරව කටයුතු කළ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලක්ෂ්මන් වීරසේකර මහතා අධිකරණයේ සාක්කි දෙමින් පැවසීය.
මෙහි ප්‍රධාන සැකකරු කවුරුන්ද යන්න හඳුනාගෙන ඔහුව අත්අඩංගුවට ගැනීම සදහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් මත නීති පීඨාධිපති තමිල්මාරන් සහ යාපනය මූලස්ථාන පොලිසියේ උප පොලිස් පරික්ෂක ශ්‍රීගජන් හා තවත් නිලධාරියකු පිටත් කර යැවූ බවත් එලෙස පිටත් කර යැවූ උප පොලිස් පරීක්ෂකවරයා මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව තමන්ට මුලින් දැනුම් දුන් බවත් පසුව එම සැකකරුට එරෙහිව සාක්කි නැති හෙයින් අත්අඩංගුවට ගත නොහැකි යැයි තමන් වෙත නැවත දැනුම් දුන් බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා කියා සිටියේය.
අත්අඩංගුවට ගත් ස්විස්කුමාර් නැමැත්තා එලෙස මුදාහැරීමට එරෙහි ජනතා විරෝධය මතු වීමේදී ඔහුට එරෙහිව සාක්කි නැති හෙයින් මුදා හැරි බවට හා කිසිවකු ඒ සම්බන්ධයෙන් සාක්කි දෙන්නේනම් සැකකරු නැවත අත්අඩංගුවට ගන්නා බවට පුංකුඩිතීව්හි පැවති රැස්වීමකදී ලලිත් ජයසිංහ මහතා එම ජනතාව සමගින් පැවසූ බවද හෙතෙම කීය.
පසුගිය 2015 මැයි මස 13 වනදා පැහැරගෙන ගොස් සමූහ දූෂනයට ලක්කර මරා දැමූ යාපනයේ ශිවයෝගනාදන් විද්‍යා සිසුවිය ඝාතන නඩුවේ දෙවැනි අදියරේ සාක්කි විමසීම අන්නාලිංගම් ප්‍රේමශංකර්,මානික්කවාසගර් ඉලංචේලියන්, බාලේන්ද්‍රන් ශෂි මහේන්ද්‍රන් යන ත්‍රිපුද්ගල විශේෂ විනිසුරු මඩුල්ල ඉදිරියේ සිදුවිණි.
විත්තිකරුවන් වන බූබාලසිංගම් ඉන්ද්‍රකුමාර්,බූබාලසිංගම් ජෙයක්කුමාර්,බූබාලසිංගම් තවක්කුමාර්,මහාලිංගම් ශෂිතරන්,තිල්ලේනාදන් චන්ද්‍රහාසන්,සිවදේවන් දුෂාන්ත්(පෙරියම්බි),පලනි රූපසිංහම් ගුහදාසන්,ජෙයතරන් කෝකිලන්, මහාලිංගම් ශෂිකුමාර් (ස්විස් කුමාර්) යන විත්තිකරුවන් 09 දෙනාද අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබ සිටියහ.