‘සාමසාධක මෙහෙයුම්වලට හමුදා දුන් දායකත්වය අවහිර නොකළ යුතුයි’


එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම්වලට ශ්‍රී ලංකා හමුදා ලබා දී තිබෙන දීර්ඝකාලීන දායකත්වය අවහිර නොකළ යුතු බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා පැවසීය.

ශ්‍රී ලංකාව ගෝලීය සාමයට සහ ආරක්ෂාව උදෙසා අඛණ්ඩව කැපවී සිටින බවත් වඩාත් සාමකාමී සහ සුරක්ෂිත ලෝකයක් උදෙසා ශ්‍රී ලංකාව ලබාදෙන දායකත්වය සුරක්ෂිත කරන බවත් රවිනාථ ආර්යසිංහ මහතා කීවේය. 

එක්සත් ජාතීන්ගේ 74 වැනි මහ මණ්ඩල සැසිය අමතමින් විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවිනාථ ආර්යසිංහ ඒ බව සඳහන් කළේය.

ශ්‍රී ලංකාව 1960 වසරේ සිට එක්සත් ජාතීන්ගේ සමා සාධක මෙහෙයුම්වලට දායකත්වය දක්වන බවත් ගැටුම් සහ ත්‍රස්තවාදී කණ්ඩායම් පාලනය කිරීමේ  දී  ශ්‍රී ලංකා හමුදාව සතුව ඇති අත්දැකීම්, ප්‍රවීණත්වය සහ විශේෂඥතාව සමාන වන්නේ රටවල් අතළොස්සක් බවත් ආර්යසිංහ මහතා එහිදි කීය.

සාමය පවත්වාගෙන යෑමේදී සහ මානුෂීය ආධාර සැපයීමේදී ශ්‍රී ලංකා හමුදා සතුව ඇති ගුණාත්මක බව ඉතාම ඉහළ බවත් පැවසූ ආර්යසිංහ මහතා එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම්වලට ශ්‍රී ලංකා හමුදා ලබා දී තිබෙන දීර්ඝකාලීන දායකත්වය අවහිර නොකළ යුතු බව ද කීවේය. 

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසියට සහභාගී වීමට නොහැකි වීම ගැන කනගාටුව පළ කළ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා සිය කතාවේදී දේශගුණික විපර්යාස, එක්සත් ජාතීන්ගේ තිරසර ඉලක්ක සහ අරමුණු, ගුණාත්මක අධ්‍යාපනය, බහුපාර්ශවීය සබඳතා සහ බහුපාර්ශවීයවාදයට තිබෙන අභියෝග, නිරායුධකරණය, සාම සාධක මෙහෙයුම්, පලස්තීන අර්බුදය, සංවර්ධනය සහ සාමය, ත්‍රස්තවාදය සහ මානව හිමිකම් ආරක්ෂා කිරීම, මානව හිමිකම් සහ සංහිඳියාව යන කරුණු සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළේය. 

පාස්කු ඉරිදා ප්‍රහාරවලින් පසුව ‘ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීම’ සහ ‘මානව හිමිකම් ආරක්ෂා කිරීම’ එකිනෙක සම සමව සිදුකළ යුතුය යන පාඩම අප උගත් බවත් එකක් වෙනුවෙන් අනෙක මඟ හැරිය නොහැකි බවත් ආර්යසිංහ මහතා කීවේය. 

055