‘විභාග ප්‍රශ්නපත්‍ර පිටවීමේ ඉඩක් නෑ‘ - විදුහල්පතිවරු කියති


ගම්පහ උසස් පෙළ විභාග ශාලාවක් ආසන්නයේ දී රසායන විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ අඩංගු ප්‍රශ්න කිහිපයක් සහිත අත් පත්‍රිකාවක් එක්තරා ටියුෂන් ගුරුවරයකු විසින් බෙදාහරිනු ලැබ තිබීම සම්බන්ධයෙන් අදහස් දක්වමින්  දිවයිනේ ජනප්‍රිය පාසලක විදුහල්පතිවරයකු පැවසුවේ විභාග දෙපාර්තමේන්තුවේ පවතින ක්‍රමවේදය අනුව විභාගයට පෙර ප්‍රශ්න පත්‍ර පිට වීමට නොහැකි බවය.

එමෙන්ම එලෙස විභාගයට පෙර ප්‍රශ්න පිට නොවුයේනම් මෙම ගැටලුව සිසුන්ට දැඩි බලපෑමක් ඇති නොවන බවත් විභාගය අවලංගු වුවහොත් පමණක් සිසුන්ට බලපෑමක් ඇති වන බවත් එම විදුහල්පතිවරයා කියා සිටියේය.

මේ අතර බොහෝ ගුරුවරුන් හා විදුහල්පතිවරුන් කියා සිටියේ මෙම ක්‍රියාව යම් අයකු සිය පෞද්ගලික උපකාර පංතිය සඳහා සිසුන් වැඩි වශයෙන් ගෙන්වා ගැනීමට යෙදූ ව්‍යාපාරික උපක්‍රමයක් බවයි. ඇතැම් විට විභාගය පැවැත්වෙන අවස්ථාවේ එහි සිටින ගුරුවරයකුගෙන් හෝ අවසන් වීමට අඩ පැයකට පමණ පෙර පිටවන සිසුවකුගෙන් අදාළ ප්‍රශ්න පත්‍රයේ ඡායාරූපයක් නවීන ජංගම දුරකථන තාක්ෂණ ඔස්සේ ක්ෂණිකව ලබාගෙන ඒ මොහොතේම මුද්‍රණය කර බෙදා දීමක් විය හැකි බව ද ඔවුහු කියා සිටියහ.