‘ලක්ෂ 5 පුරවැසි ගාස්තුව දරන්න බැහැ‘


යුරෝපා එජාප සංවිධානයේ පැරිස් ශාඛාවේ මහ සභා රැස්වීම පැරීසියේදි පැවැත්විණි. මෙම සභාවේදි නව රජයේ අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා හා යුරෝපා එජාප සංවිධානයේ සභාපති දයා රණතුංග මහතා ශ්‍රී ලංකාවේ සිට ස්කයිප් තාක්ෂණය ඇසුරෙන් පැරිස් ශාඛාව ඇමතීය.

පසුගිය ජනාධිපතිවරණයේදී යහපාලනය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් ඒකරාශීවූ යුරෝපා සංවිධානයේ පැරිස් ශාඛාවේ සමාජිකයන්ට ස්තුතිය පුදකර එම සංවිධාන එකමුතුවට ශක්තිය ලබාදීමට හැකිවීම ගැන සංවිධානය වෙනුවෙන් සතුට පළ කරන බවද එහි සභාපති රොහාන් දයාදර මහතා පැවසීය. යෝජනා ඉදිරිපත් කිරීමේ වාරයේදි සියලූ දෙනාගේ ඉල්ලීමක් වුයේ නව රජයේ ද්විත්ව පුරවැසිකම සදහා අය කරන ලක්ෂ පහක මුදල ගැනය. ඒ සඳහා විකල්ප යෝජනා කිහිපයක් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා වෙත යොමු කිරීමට යුරෝපා සංවිධානයේ පැරිස් ශාඛාව පොරොන්දු විය.

යෝජිත ලක්ෂ පහේ සීමාව ඔවුන්ට දැරීම අසීරුය. පවුලේ දෙමාපියන්ගේ මාසික වේතනය විවිධ කටයුතුවලට වැය වන බැවින් එවැනි පවුලක් මාස අටකට පසු නිවාඩුවට තෝරා ගන්නා තම මව් බිමට යාම සඳහා සියලූම වියදම් ඇතුළුව මසක නිවාඩුවට අඩුම තරමින් ලක්ෂ දහයක්වත් වැය කිරීමට සිදුවේ. එවැන්නෝ දහස් ගනනකි. ඔවුන්ගේ නිවාඩු කාලය මව් බිමට කෝටි ගනනක් විදේශ මුදල් එක් කරන කාලයකි. ඉතුරු සොච්චමෙන් ද්විත්ව පුරවැසිකම ලබා ගැනීම ඉහත පවුලකට සිහිනයක්ම පමණි.

අනෙක් කරුණ හැත්තෑව, අසූව දශකයේ විදේශ ගත බොහෝ දෙනා විශ‍්‍රාම සැඳෑවට දැන් ළඟා වෙමින් සිටී. ඔවුන් බොහෝ දෙනා තම මව් රටේ විශ්‍රාම සුවයෙන් ජීවත් වීමට කැමතිය. එසේ වුවෝත් ඔවුන් වැය කරන්නේ විදේශ මුදල්ය. එයද රටට සම්පතකි. මෙම පුරවැසි මුදල දැරීම එම විශ‍්‍රාමිකයන්ටද අසීරුය.

ඔවුන්ගේ ඉල්ලීම වන්නේ ලක්ෂ තුනක පමණ සාධාරණ මුදලක් අය කිරීම දෙපිරිසටම සමබර බවයි. සංචාරක ගමනාගමනය හා අධ්‍යාපනික හේතු විදේශ පුරවැසිකම ලබා ගැනීමේ ප‍්‍රධානම අරමුණවේ. එසේ වුවද සිතින් ගතින් දෙකෙන්ම ඔවුන් මව් බිමේය. විදේශයේ බෙහෝ ශ්‍රී ලාංකික දරුවන් විවිධ ක්‍ෂේත‍්‍රවල ඉතා ඉහළම අධ්‍යාපනය අවසන් කළ දරුවන්ය. ඔවුන්ගේ ශිල්ප ඥානය ලබා ගැනීම රටට යහපතක් මිස අයහපතක් නොවන්නේය. විදේශ පුරවැසිකම් හිමි ශ්‍රී ලාංකිකයෝ වැඩි ප‍්‍රතිශතකයක් මෙම අපහසුතාවයට අසුවේ. සුපිරි මන්දිර බද්ද ප‍්‍රතිශෝධනය කළේ නම් පුරවැසි ඉල්ලීමට එසේ නොවන්නේ මන්ද යැයි අගතියට පත් වුවෝ අසති. එවැනි වාද විවාද වලින් පසු ඉහත කරුණු ඇතුළත් ලිපියක් අගමැතිට හා මුදල් ඇමතිට යොමු කිරීමට සියල්ලෝ කැමැත්ත පළ කළහ.

01 03 04 05 06