‘රිම් ඔෆ් ද පැසිෆික්‘ අභ්‍යාසයට පළමු වරට ලංකාවෙන් එක් වෙයි



( තිළිණි ද  සිල්වා )


ලෝකයේ විශාලම සාගර අභ්‍යාසය වශයෙන් සැලකෙන ‘රිම් ඔෆ් ද පැසිෆික්‘ අභ්‍යාසය  සඳහා ප‍්‍රථමවරට ශ්‍රී ලංකාව එක්වන බව ඇමෙරිකාවේ ආරක්ෂක මූලස්ථානය වන පෙන්ටගනය නිවේදනය කර සිටී.
 
ඇමෙරිකාව විසින් සංවිධානය කරනු ලබන මෙම සාගර අභ්‍යාසය ලබන 27 වැනිදා සිට අගෝස්තු 02 වැනිදා තෙක් හවායි දුපත්වල හා දකුණු කැලිෆෝනියාවේ අයත් සාගර ප‍්‍රදේශවලදී පැවැත්වේ. 
 
අභ්‍යාසය සඳහා රටවල් 26ක් එක්වන අතර, එයට නැව් 47ක්, සබ්මැරීන් 05ක්, රටවල් 18ක සංග‍්‍රාමික හමුදා, ගුවන් යානා 200කට අධික ප‍්‍රමාණයක් සහ පුද්ගලයන් 25,000ක් එක්වන බවද පෙන්ටගනය සඳහන් කර ඇත. 
 
මෙවර මෙම අභ්‍යාසයය ප‍්‍රථම වරට එක්වන රටවල් අතරට ශ්‍රී ලංකාවට අමතරව බ‍්‍රසීලය, ඊශ‍්‍රායලය, වියට්නාමයද එක් වෙති. 
 
ඇමෙරිකාව, ඔස්ටේ‍්‍රලියාව, බෘනායි, කැනඩා, චිලී, කොලොම්බියා, ජර්මනිය, ඉන්දුනීසියාව, ජපානය, මලයාසියාව, ප‍්‍රංශය, මෙක්සිකෝව, නෙදර්ලන්තය, නවසීලන්තය, පේරු, දකුණුකොරියාව, පිලිපීනය, සිංගප්පූරුව, තායිලන්තය, ඉන්දියාව, ටොංගෝව හා එක්සත් රාජධානිය යන රටවල් මෙම අභ්‍යාසයට එක්ව තිබේ. 
මෙම අභ්‍යාසය ඇමෙරිකාවේ ආරක්ෂක මූලස්ථානය විසින් 1971 වසරේදී පටන් සිදුකරගෙන යනු ලැබේ.