‘රහස් පොලීසිය හැඳි දෙකකින් බෙදනවා‘
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන පරීක්ෂණයේදී රහස් පොලීසිය දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරතියි සැකකරුවකු වෙනුවෙන් පෙනී සිටින නීතීඥ ජගත් අබේනායක මහතා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රසන්න ද අල්විස් මහතා හමුවේ ප්‍රකාශ කළේය.
ප්‍රේමචන්ද්‍ර මහතාගේ පොලිස් ආරක්ෂකයා වූ ආර් ඝාමිණීට එක හැන්දකිනුත් තවත් සැකකරුවකුට තව හැන්දකිනුත් බෙදතියි ඔහු කීවේය. රිමාන්ඩ් බාරයේ සිටින ගාමිණීගේ ඇසක් ඉවත් කැර බොරු ඇසක් දමා ඇතැයි ද වෛද්‍ය උපදෙස් නොමැතිව ඔහු බන්ධනාගාර රෝහලෙන් ඉවත් නොකළ යුතුයැයි විශේෂඥවෛද්‍යවරයා කියා ඇතත්, බන්ධනාගාර වෛද්‍යවරයා ඒ උපදෙස් කඩකරමින් ඔහු රිමාන්ඩ් සිරමැරිදයකට දමා ඇතැයි ද නීතීඥවරයා කීවේය.
අනෙක් අතට තවත් සැකකරුවකුට සිංගප්පූරුවේ තරු පහේ හෝටලයක් වැනි රෝහලක ප්‍රතිකාර ගැනීමට ඉඩ දී ඇතැයි ද, දේශපාලන බලය හා සමාජ තත්ත්වය අනුව එසේ වන්නට ඇතැයිද ඔහු කියා සිටියේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා කියා සිටියේ දුමින්ද සිල්වා සිංගප්පූරු ගෙන ගියේ සැකකරුවකු වීමට කලින් බවයි.
ප්ලාස්ටික් හිස්කබලක් පෙන්වමින් ඔහු කියා සිටියේ වෙඩි පහරින් දුමින්ද සිල්වාගේ හිසේ කෑලි කැඩී ඇති බවයි. එම කෑලි වෙනුවට ප්ලාස්ටික් කැබලි යොදා සැත්කම් කර ඇතැයි ද, මෙවැනි බරපතල තුවාල ලබා සිටියදීද ඔහු ජීවත් වීම ගැන විශේෂඥ වෛද්‍යවරු පවා පුදුමයට පත් වී සිටින බව ඔහු කීවේය. දුමින්ද සිල්වා මහතාට උසාවියට පැමිණීමට හැකි විගස උසාවි එන බවත් පැවසීය.
සැකකරුවකු වන ධනංජය මධුසංඛ සිල්වා කියා සිටියේ තමන්ට ප්‍රකාශයක් කිරීමට අවශ්‍ය බවයි.
විශේෂඥ වෛද්‍ය උපදෙස් නොතකාහළේ ඇයිදැයි කරුණු දක්වන ලෙස බන්ධනාගාර අධිකාරීට නියෝග කළ මහේස්ත්‍රාත් පොලිස් පරීක්ෂණ වර්තා නීතිපතිට ඉදිරිපත් කරන්නැයි රහස් පොලීසියට ද නියෝග කළේය.
සැකකරුවෝ ලබන 30 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.

