‘රන්ජන් රාමනායකට නඩු දානවා‘


(  තිළිණි ද සිල්වා )

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ සමාජ බලගැන්වීම හා සමාජ සුබසාධන නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩු පවරන බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය පවසයි.

රටේ බහුතරයක් නීතීඥවරුන් සහ විනිශ්චයකාරවරුන් දූෂිත බවත් ශ්‍රී ලංකාව විනාශ කළේ ඔවුන් බවත් පවසමින් රාමනායක මහතා කළැයි කියන ප‍්‍රකාශයට අදාළව වගකිව යුත්තන් සම්බන්ධයෙන් සාක්ෂි හෙලිදරව් නොකරන්නේ නම් මෙලෙස නඩු පවරන බව එම සංගමයේ සභාපති නීතීඥ යූ.ආර්.ද සිල්වා මහතා පවසයි.

එවැනි දූෂිත පුද්ගලයින් ගැන නියෝජ්‍ය අමාත්‍යවරයාට සාක්ෂි ඇත්නම් ඒවා අධිකරණ සේවා කොමිසමට ,පොලීසියට හෝ අල්ලස් හා දූෂණ කොමිසමට නීත්‍යානුකූල ලෙසින් ඉදිරිපත් කරන ලෙසත් එලෙස ඔහු කටයුතු නොකරන්නේ නම් ඉදිරි සති දෙක ඇතුළත අදාළ නීතිමය ක‍්‍රියාමාර්ග ගන්නා බවද ඒ මහතා පවසයි.

මෙලෙස නඩු පැවරීම සඳහා ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ විධායක කමිටුවේ ඒකමතික අනුමැතිය බදාදා (23) හිමිවූ බවද හෙතෙම ප්‍රකාශ කරයි.

කොළඹ අලූත්කඩේ පිහිටි ශ්‍රී ලංකා නීතීඥ සංගම් මූලස්ථානයේ අද (24) පැවති විශේෂ මාධ්‍ය හමුවකදී එම සංගම් සභාපතිවරයා මේ බව කියා සිටියේය.