‘මේජර්ගේ මරණය සැකයි‘


තිහගොඩදී කැබ්රියක බෝම්බයක් පිපිරී මිය ගිය සාලියපුර යුද හමුදා කඳවුරේ මේජර් කේ ඒ නලීන් සම්පත් කුමාර (37)  ගේ මරණය ගැන බලවත් සැකයක් ඇතැයි මාතර අතිරේක මහේස්ත්‍රාත් දුලානි අමරසිංහ මෙනවිය ඉදිරියේ පැවති මහේස්ත්‍රාත් පරීක්ෂණයේදී මේජර්වරයාගේ බිරිය හා සහෝදරයා පැවසූහ. තමා යුද හමුදාවේ පුපුරණ ද්‍රව්‍ය පිළිබඳ පාඨමාලාවක් හදාරා ඇති, ඒ ගැන අත්දැකීම් සහිත නිලධාරියකු ලෙස බෝම්බයක් පුපුරා එහි කම්පනයට ඒ අසල තිබූ අනෙක් බෝම්බය පුපුරා නොයාම ගැන සැකයක් පවතින බව මියගිය මේජර්ගේ සහෝදරයා වන මාතලේ යුද හමුදා කඳවුරේ දෙවැනි ලුතිනන් කේ කේ නලින්ද සුමිත් මහතා පැවසීය. මිගිය මේජර්ගේ බිරිය සාක්කි දෙමින් ප්‍රකාශ කළේ තමා හා දරු දෙදෙනා සමග අවසන් වශයෙන් හොදින් සිටි නිසා සියදිවි හානිකර ගැනීමට තරම් හේතුවක් සැමියාට නොතිබුණු බවයි. මිස්කෝල් එකකින් මේජර්වරයා සමග සම්බන්ධයක් ඇති කර ගත් බවත්, ඔහු විවාහක දෙදරු පියකු බව දැනගත් පසු එය නතර කිරීමට පියවර ගත් බවත්, මෙවන් දෙයක් සිදුකර ගනීවියැයි කිසිවිටක නොසිතූ බවත් මියගිය මේජර්වරයා සමග ප්‍රේම සම්බන්ධයක් පැවැත්වූ බව කියන 17 හැවිරිදි තරුණිය මහේස්ත්‍රාත් පරීක්ෂණයේ සාක්කි දෙමින් කීවාය. අද සවස හය වන තුරු  පැවති සාක්කි විභාගය ප්‍රේම සම්බන්ධය පැවැත්වූ බව කියන තරුණියගේ පියාගේ හා මවගේ සාක්කි විමසීම සදහා ඔක්තෝබර් 03 වැනි දිනට කල් තැබිණි.