‘පාට මොකක් වුණත් හොරා හොරාමයි‘ - ඇමැති විජේදාස


(උපුල් තම්මිට)

‘‘හොරා කියන්නෙ හොරා. කොළපාට හොරයි, නිල්පාට හොරයි කියල දෙන්නෙක් නැහැ. කවුරු හොරකම් කළත් හොරා හොරාමයි‘‘ යැයි අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පැවසීය.
විජේදාස රාජපක්ෂ මහතා මෙම අදහස් පළකර සිටියේ ශ්‍රී ලංකා චීන මිත්‍රත්ව බෞද්ධ සංගමයේ මෙහෙය වීමෙන් ගෝමරන්කඩවල තිරියාය හන්දියේ සහ රඹෑව වහමල්ගොල්ලෑව ශ්‍රී බෝධිරුක්ඛාරාමයේ ඉදිකළ නව පානීය ජලපිරිපහදු ඒකක විවෘත කිරීමේ උත්සවයට එක්වෙමිනි.
‘‘මේ රටේ නඩු විසදන්න විදේශ කණ්ඩායමක් ගේන්න යෝජනා වුණා. අධිකරණය ස්වාධීන නැහැ කීවා. අපි නීතිය ක්‍රියාත්මක කරන්නේ අපේ රටේ තියෙන ව්‍යවස්ථාව ඇතුළේ. මේ රටේ ජනතාව අනුමත කළේ ඒකයි. අපේ රටේ ගෞරවනීය මහා සංඝරත්නය අපිට අනුශාසනා කළේ ඒ විදිහට වැඩකරන්න කියලයි. මේ සංක්‍රාන්ති සමය තුළ මේ රටේ අවශ්‍ය දේශපාලන වෙනස කරලා නැවතත් රට යහමගට ගන්න අපි කටයුතු කරනවා වගේම අපි පසුබට වෙන්නෙත් නැහැ. බය වෙන්නෙත් නැහැ.  ලංකාදීප පුවත්පත වාර්තාකරල තියෙනවා අනුරාධපුර දිස්ත්‍රික්කයේ වකුගඩු රෝගීන් 13451 කියලා. මාස 7ට මරණ 128යි. අද සෞඛ්‍ය බලධාරීන්ට මේවට ප්‍රතිකර්ම හොයන්න වෙලාවක් නැහැ. වෛරයෙන් ක්‍රෝධයෙන් ඇන කොටාගන්න මරාගන්න එක තමයි මේ වෙලාවේ කරන්නේ‘‘ යැයි ද ඔහු කීය.
‘‘ජනාධිපතිතුමාගේ නමම මෛත්‍රි. අපි වෛරයෙන් නෙවෙයි කටයුතු කරන්නෙ. සාධාරණ සමාජයක් හදන්න කටයුතු කරපු මිනිස්සු වෛරයෙන් ක්‍රෝධයෙන් ඊර්ෂ්‍යාවෙන් දැවිදැවී කටයුතු කරනවා. අපි මෛත්‍රී සහගත සමාජයක් හදන්න කැපවෙලා කටයුතු කරනවා.  මේ සදහා නායකත්වය දෙන්න තමුන්නාන්සේලාගේම පළාතේ රජරට ගොවිපුත්‍රයෙක් රටට ආදරය කරන සම්පත්වලට ආදරය කරන ජන නායකයෙක් ඉන්නවා. අපි එතුමත් සමග ඒ වෙනස කරනවා. මේ රටේ තියෙන සම්පත් ඇළදොළ ගංගා වරායවල් ගුවන් තොටුපළවල් මහා මාර්ග මේ කෙත්වතු මේ එකම බිම් අගලක්වත් අපිට උරුම වෙලා නැහැ. අපේ මුතුන් මිත්තන් පරම්පරා සිය දහස් ගාණක් මේවා රැක්කා. මේවා අපිට භාර කළා නූපන් පරම්පරාව වෙනුවෙන් ආරක්ෂා කරන්න. මේවා අපිට භාර කළා මිසක් අපිට අයිති කළේ නැහැ. ඒ සීමාවන් දැන හඳුනාගෙන කටයුතු කරන්න අපි එකතුවෙන්න අවශ්‍යයි. අපි එකතු වුනේ නැත්නම් මේ රටේ සංහිදියාවක් නැහැ. තමන්ගේ දේශපාලන අරමුණු වෙනුවෙන් මුල්තැන දීල ද්වේශය වෛරය වපුරන අයව අපි පිළිගන්නේ නැහැ. බුදුන් වහන්සේගේ දහම නෙවෙයි ඒ. වෛරයෙන් තොර දේශපාලන සංස්කෘතියක් හැදුවේ නැත්නම් මේ රට විනාශවෙනවා. අවුරුදු හැත්තෑවක දේශපාලනයෙන් කරන්න බැරිවුනු දේ ජාතික ආණ්ඩුව හදල යහපාලනයෙන් කරන්න බැහැ. ඊට අවශ්‍ය විකල්පය මොකක්ද කියල මේ රටේ සියලුම ආගමික නායකයින් තීරණය කළ යුතුයි‘‘