‘නව ව්‍යවස්ථාවක් ගේනවානම් සංඝරත්නය දැනුම්වත් කරනවා‘ - ජනපති


නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ දළ කෙටුම්පතක් හෝ සම්පාදනය කරන්නේනම් ඒ පිළිබඳව මහා සංඝරත්නය දැනුවත් කරමින් උන්වහන්සේලාගේ ද අදහස් සහ යෝජනා ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

ජනපති මේ බව ප‍්‍රකාශ කළේ මහා නායක හිමිවරුන් ප‍්‍රමුඛ මහා සංඝරත්නය සමග අද (6) පස්වරුවේ මහනුවර ජනාධිපති මන්දිරයේ පැවති හමුවකදීය.

නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ කිසිදු අවසන් ලියවිල්ලක් මෙතෙක් සකස් කර නොමැති බව අවධාරණය කළ ජනපති නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ සංවාදයක් අද රට තුළ මතුව තිබුණ ද, රජය එවැන්නක් කෙටුම්පත් කරන්නේනම් එය රටේ අනාගතය සහ ස්ථාවරත්වය පිළිබඳ ගැඹුරින් අධ්‍යයනය කරමින් සිදුකරන්නක් බව ද සඳහන් කළේය.

රටේ දේශපාලන, සමාජ, ආර්ථික හා ආගමික කරුණු රැසක් පිළිබඳව ද මෙම හමුවේදී මහා සංඝරත්නය සිය අදහස් සහ යෝජනා ඉදිරිපත් කළ අතර ඊට අදාළ යෝජනාවලියක් ද ජනපතිට ඉදිරිපත් කරනු ලැබීය.