‘දොළදුකට අඹත් කන්න දුන්නා‘


ඕමානයේදී හාම්පුතා අතින් අතවරයට පත්ව  ඕමාන තානාපති කාර්යාලය බාරයේ ඇති  සුරක්ෂා නිවසේ රඳවා සිටියදී    ගබ්සාවක් සිදුකළ බව කියන   අම්පාර ප්‍රදේශයේ කාන්තාව  සෙනසුරාදා අලුයම  කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන්  හිස් අතින් දිවයිනට ගෙන එනු ලැබීය.

ගුවන්තොටුපොළේ දී විදේශ සේවා නියුක්ති කාර්යංශ නිලධාරීන්ගේ භාරයට ගත් එම කාන්තාව කටුනායක පිහිටි සහන පියසට ගෙන එනු ලැබුවාය. සවස තුන පමණ තෙක් ඇය එහි රඳවාගෙන සිටි අතර දවල් 12ට පමණ ඇගේ සැමියා ඇය භාර ගැනීමට සහන පියසට ආවේය.

විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී හා මාධ්‍ය ප්‍රකාශක මංගල රන්දෙනිය මහතාගෙන් සැමියා විමසුවේ තම බිරිය අලුයම දිවයිනට ගෙනවිත් තමාට 12 ට එන ලෙස දැන්වූයේ ඇයිද යන්නයි. බොහෝ වේලාවක් ඇය එහි රදවා තබා ගැනීම ගැන සක මතුවන බව ද ඔහු කීවේය.

එම කාන්තාව සැමියා භාරයට පත් කරනවාදැයි එහිදී මාධ්‍යවේදියකු ප්‍රශ්න කළ අතර රන්දෙනියට මහතා ඊට පිළිතුරු දෙනවා වෙනුවට ‘ඇයි කවුරු හරි කිව්වද දෙන්නේ නෑ කියලා? ඇයි කවුරු හරි කිව්වද? ‘කියමින් මාධ්‍යවේදීන්ගෙන් ප්‍රශ්න නගන්නට විය.

කෙසේ වෙතත් මාධ්‍යවේදීන් එතැනින් පිටව යන තෙක් කාන්තාව භාර නුදුන් අතර පස්වරු පහට පමණ කාන්තාව සැමියා සමග සහන පියසෙන් පිටව ගියහ.

විදේශසේවා නියුක්ති කාර්යංශ නිලධාරීන්ගේ රැකවරණයෙන් මිදුනු එම කාන්තාව සිය සැමියා සමග සිටිමින් ලංකාදීපයට මෙසේ පැවසුවාය.

‘මම රට යන්න තීරණය කළේ මගේ මහත්තයට අසනීප නිසා. ඔහුගේ එක අතක් කැඩිලා. ඔහුගේ මව සමග මම පේරාදෙණියේ පිහිටි විදේශ රැකියා නියෝජිතායතනයකට ගියා.  එහිදී ඔවුන් කීවේ අප  දෙදෙනාව එකම නිවසකට දමන බවයි.

අපි  පසුගිය ජනවාරි 13 වෙනි දා ඕමානයට ආවා. ඕමාන් ගුවන් තොටුපොළේදී හාම්පුතා ඇවිත් මාව ඔහුගේ ගෙදරට රැගෙන ගියා.  එහි හාම්පුතාගේ බිරිඳ හිටියේ නැහැ. ඔහුගේ මව, නැගනිය සහ  දරුවන් හය දෙනෙකු  සිටියා.  මම දිගටම එහි වැඩකරගෙන හිටියා. මා එහි සිටිද්දී හාම්පුතාගේ අමුතු හැසිරීම  දුටුවා.  මා මගේ සැමියාට මේ  පිළිබඳව කීවා.  ගෙදර හාම්පුතාගෙන් කරදර බව ලංකාවේ එජන්සියට ගොස් කියන ලෙස ඔහුට කීවා.  නමුත් ඒජන්සියෙන් මා වෙනුවෙන් කිසිම පියවරක් ගෙන නොතිබු නිසා මා එහි දිගටම වැඩ කළා.  එක් දිනක් මහ රෑ මා හාම්පුතාගෙන් අතවරයට ලක් වුවා.   එදා මාර්තු 31 දා.  මා නිදියන කාමරයේ දොරක් තිබුණේ නැහැ.  නිදාගැනීමට මෙට්ටයක් පමණයි තිබුණේ.

එදා රාත්‍රියේ දොළහට පමණ ඔහු කාමරයට පැමිණ මගේ ඛෙල්ලෙන් අල්ලා මා මෙට්ටය උඩට පෙරලූවා. ඔහු මගේ ගවුම ඉරා දැමුවා. එවිට මම බේරෙන්න ඔහුගේ අත  සපා කෑවා. ඔහුගේ අතේ මා හැපු සලකුණ ඇති. පසුව ඔහු මා අතවරයට ලක් කළා. ඔහුගේ නියපොතු පහරවල් පවා මගේ ශරීරයේ තිබුණා.

එදින ගෙදර සිටියේ ඔහුගේ මව පමණයි. පසුව ඔහුගේ නැගනියට මට සිදු වු අතවරය ගැන කීවා. ඇය එය ගනන් ගත්තේ නැහැ.  පසුව මම  ඇගේ දුරකතනය හොරෙන් අරගෙන  මහත්තයට ඇමතුමක් ගන්න ගියා. ඇය ඇවිත් මාව තල්ලූකරලා දුරකතනය උදුරා ගත්තා. මම කීවා මට සිදු වු අතවරය ගැන ගෙදරට කියන්න ඇමතුමක් අරන් දෙන්න කියා.  ඇය ඉන්පසු ගෙදරට දුරකතන ඇමතුමක් අරන් දුන්නා. මම මහත්තයට කිව්වා ඉක්මනින් මාව වෙනතැනකට දාන්න කියලා. ඉන්පසු මගේ මහත්තයා ලංකාවේ ඒජන්සියට ගොස් ඒ නිවසේ කරදර ඇති බව  කියා තිබුනා.  

ඉන්පසු ගෙදර අය මාව පහුවදාම ඕමාන් ඒජන්සියට ගෙනත් දැම්මා.   එතනට ආ ගමන් මා ඒජන්සියේ බාබාට මේ සිද්ධිය කීවා.  හාම්පුතා අතින් වු නියපොතු පහරවල් පවා මා ඔවුන්ට පෙන්වුවා. නමුත් ඔවුන් ඒ දේවල් ගනණකට ගත්තේ නැහැ.  එහි මාසයක් හිටියා. මේ වන විට මට මාසික ඔසප් වීම නතර වී තිබුණා. කලන්තය,වමනය වැනි දේ මට ඇතිවෙන්න ගත්තා.  මා ඔවුන්ට කීවා මට ඔසප් වීම සිදුවුණේ නැහැ ළමයෙක් ලැඛෙන්න දැයි සැක බව.  මට එහිදී වමනයද ගියා. ඒජන්සියේ බාබා දන්නවා මට දරුවෙක් ලැබෙන්න හිටි බව.

මගේ මහත්තයගේ අම්මත් ඒජන්සියේ හිටියා. මම ඇයට මේ බවක් කීවේ නැහැ. මට ලංකාවේ අක්කා කෙනෙක් කීවා ඔයා නැන්දම්මට මේවා කියන්න එපා. ඔයා ගෙදර ගියහම  පවුලේ ප්‍රශ්න ඇතිවෙයි කියා.   ඒ නිසයි මා ඇයට නොකීවේ.

ලංකාවේ තානාපති කාර්යාලයේ නිලධාරිනියක් මට කතා කර කිව්වා ඕවා සාමාන්‍ය දේවල් ඕක ගනන් ගන්න එපා කියා. ඔයා වැඩ කරන්න කැමති නම් අපි ඔයාව වෙන ගෙදරකට දාන්නම් කීවා. මම කීවා මේ වගේ දෙයක් වෙලා මම කොහොමද වැඩකරන්නේ මට බැහැ කියා. ඔවුන් උත්සහ කළේ සේරම වහගෙන මාව වෙන ගෙදරකට වැඩට දාන්නයි.

ඒජන්සියේ කට්ටිය තානාපති කාර්යාලයේ මිස්ලා එක්ක නිතර කතා බහ කරනවා. ඒ අය හොඳ මිතුරන්.

ඔය අතරෙදි පසුගිය අප්‍රියෙල් 29 වෙනිදා මාව තානාපති කාර්යාලයට ගෙනත් ඇරලූවා.

ඒ වෙනකොට මට වමනය, කලන්තය, කැරකවිල්ල තිබුණා.  මාස දෙකකින් මට ඔසප් වීම් සිදුවී තිබුණේ නැහැ. 

මම මේ ගැන ලොකු මිස්ට කිව්වා. ලොකු මිස් ඇහැව්වා මොනවද කන්නා ආසා කියා.  මම ලොකු මිස්ට කිව්වා මට අඹ කන්න ආසා බව. ඇය කිව්වා තව කන්න ආසා දේවල් තියෙනවා නම් මට කියන්න කියලා.  ඇය ඉන්පසු මට අඹ  කපා දුන්නා. මේ හැම දේවල් ගැනම ඔවුන් රහසින් කතා වෙනවා මම දැක්කා. මට ඇය ගැන ලොකු සැකයක් තිබුණා.

මේ මොනවා කළත් ඔවුන් මාව රැගෙන ගොස් පොලිසියකට හෝ පැමිණිලි කළේ නැහැ.

 එයාලා මාව රෝහලකට රැගෙන  ගෙන ගියා. එහිදී මගේ මුත්‍රා සහ රුදිරය ගත්තා. තානාපති කාර්යාලයේ මිස්ලා කිව්වා බබෙක් නැහැ කියා.  ඒත් මට දිගටම ඔක්කාරය වගේ දේවල් තිබුනා. මම නැවත නැවතත් ඔවුන්ට කීවා.   පසුව දෙවැනි වතාවටත් මා රෝහලට රැගෙන ගියා. එහිදී වෛද්‍යවරියකට මාව යොමු කළා. ඇය මට බොන්න ඛෙහෙත් පැකට් දෙකක් දුන්නා. එහි වර්ග දෙකක බෙහෙත් පෙති තිබුණා. එකක් සුදු පාටයි. අනික දුඹුරු පැහැයට හුරුයි.  එදා මා සමග තවත් සුරක්ෂා නිවසේ සිටි කාන්තාවක් ඛෙහෙත් ගන්න ගියා. ඇගේ ෆයිල් එකේ තිබුන කොළ වගයක් මගේ ෆයිල් එකට දැම්මා. මට රෝහලේදී ගොඩක් අමාරු වුනා. කලන්තේ හැදිලා රෝද පුටුවක හිටියේ.

මම සුරක්ෂා නිවසට ඇවිත් ඒ බෙහෙත්  පෙති දෙකක් බිව්වා.   ඒවා බිව්වට පස්සේ  පැය බාගයකට පස්සේ  මට ලේ කැට කැට යන්න ගත්තා. මට ගොඩක් අමාරු වුණා. ලොකු මිස් සහ සුරක්ෂා නිවසේ පාලිකාව  පොඩි මිස් මගේ ලේ යන ඒවා පරික්ෂා කලා.  මම දැනගත්තා මගේ බඩේ හිටිය බබාව නැතිවන්නට   ඛෙහෙත් දී ඇති බව.

මට ගොඩක් අමාරු උනා. මට කරන්න කිසිම දෙයක් තිබුණේ  නැහැ. එහි සිටි මිස්ලා මට තර්ජනය කළා මේ බවක් කාටවත් කියන්න එපා කියා.  මාව මරණවා කිව්වා. ඔවුන්ගේ  තර්ජන ගර්ජන මැද මා එහි  නිහඩව හිටියා. එහි නිලධාරීන් හැදුවේ මේ දේවල් වසන් කරලා මාව වෙනත් ගෙදරකට වැඩට දාන්නයි.

ඒත් මොනවා කරන්නද මම එහි තනිවෙලා. සුරක්ෂා නිවසේ සිටි අනිත් ළමයිට මම ලේ යනවා පෙන්නුවා. ඒ අය දන්නවා මේ සේරම දේවල් ගැන.  හැම තිස්සේම අපිට මොන කරදර ආවත් මේ නිලධාරීන් ගන්නේ අරාබි මිනිහගේ පැත්ත. 

මට කියලා බලෙන් ලිපි ලියවා ගත්තා. මට කිව්වා මගේ බඩේ ඉන්න  දරුවා  නැති කලේ නැති බවත් කිසිම ඛෙහෙතක් බොන්න දුන්නේ නැති බවත් ලියන්න කිව්වා. මේ බව කිව්වොත් කවදාවත් ලංකාවට යන්න දෙන්නේ නැති බවත් කිව්වා.

    මම දවසක් ලොකු  මිස්ගෙන් ඇහුවා මට ලංකාවට යන්න පුලූවන්ද කියා. අද යවනවා හෙට යවනවා කියා බොරු දේවල් කියනවා. ලංකාවට ගියත් මේ දේවල් කියා තිබ්බොත් මරණවා කියා පොඩි මිස් තර්ජනය කළා.  ඉතින් මට ඔවුන් කියන කියන දේ කියන්නයි, ලියා දෙන්න යි සිදුවුනා.

සුරක්ෂා නිවසේ නිලධාරීන් හා ඒජන්සිය අතර මුදල් ගනු දෙනු සිදු වුනා. ඒජන්සියේ අය නිතර තානාපති කාර්යාලයට ආවා. ඔවුන් සමග  සම්බන්ධතා මේ අය පැවැත්වුවා. හැම විටම ඔවුන් මොන වරද කළත් ගන්නේ ඒජන්සියේ පැත්ත.

මට වුන දේවල් අඩුම තරමේ මහත්තයට වත් කියා ගන්න අවස්ථාවක් ලැබුනේ නැහැ. මට දුරකතන ඇමතුම් එන විට ස්පීකර් දාලා කතා කරන්න  කියනවා. අනවශ්‍ය දේ කීවොත් මරණවා කීවා.

දවසක් තානාපති තුමා මා කැඳවා ප්‍රශ්න කලා. ඒත් මට ඇත්ත කියන්න බයයි. ඒ නිසා මා අතවරයට පත් වු බව කීවා. පසුව තානාපති තුමා මැදිහත්ව  මාව පොලිසියට අරගෙන ගොස් පැමිණිල්ලක් දැම්මා.

දවසක් තානාපතිතුමා මාව වෛද්‍ය පරික්ෂණයකට අරගෙන යන්න නිලධාරිනියක් එව්වා. එදා මගේ ගුවන් ගමන් බලපත්‍රය එක්ක වෙන කාන්තාවක් යවා තිබුනා. එසේ කර තිබුනේ සිතා මතා කියා මා සිතනවා.

තානාපතිතුමා හොඳ කෙනෙක්. ඔහුට කතා කරන්න අපට අවස්ථාවක් ලැඛෙන්නේ නැහැ. මේ සේරම දේවල් ඔහුට හොරෙන් තමයි සුරක්ෂා නිවසේ අය කරන්නේ. මම දන්නවා මගේ ප්‍රශ්නෙට සාධාරණය ඉෂ්ට කරන්න ගිහින් තමයි තානාපති තුමාට ගෙදර එන්න වුණෙත්.

මීට ටික දවසකට කලින් ලංකාවේ පොලිසියේ නෝනා කෙනෙක් ඇතුළු නෝනලා දෙන්නෙක්  ආවා. තව මහත්තයෙකුත් ආවා.  ඔවුන් කීවා  සියළු දේ කියන්න කියා. මා අතවරය සිදු බව කීවා. ලොකු මිස්ටයි, පොඩි මිස්ටයි තියෙන බයට මම ගබ්සා සිද්ධිය කිව්වේ නැහැ. නමුත් ඔවුන් ඉදිරියේ මගෙන් ලියුමක් ගත්තා මා දැමු පැමිණිලි ඉල්ලා අස්කරගන්න බවට. අතවරයක් නොවු බවට. මා අසරණ වී සිටි නිසා සියලූ දේ ලියා අත්සන් කළා.

මට කරන්න දෙයක් නැති නිසා මම දෙන දෙන ලියමුට අත්සන් කළා. කියන කියන විදියට ලිව්වා. මට තේරුනා පොලිසියේ දාලා තියෙන පැමිණිල්ල අස්කරගන්නයි මේ ලියුම් ලියවාගන්නේ  කියා.

මාව ලංකාවට එවන දිනය ගෙදරට කියන්න එපා කිව්වා. මහත්තයටවත්  කියන්න එපා කිව්වා. කෙලින්ම සහන පියසට යන්න කිව්වා.

ඒ විදියට තමයි මේ සේරම දේවල් වුනේ. සුරක්ෂා නිවසේ අයට ඕන වුනේ මාව බය කරලා මේ සියළු දේ වසන් කර මාව වෙනත් ගෙදරකට දාන්නයි. මේවා එළි කළ නිසා මගේ ජීවිතයට දැන් තර්ජනයක් එල්ල වී තිබෙනවා.

ජනාධිපතිතුමනි මම වගේ තවත් අය මේ වගේ අසරණ වෙනවා. මගේ මහත්තයගේ ජීවිතයටත් තර්ජන තියෙනවා. මේ පිළිබඳව ඔබ තුමාගේ අවධානය යොමු කොට වැරදි කරුවන්ට දඩුවම් ලබා දී මට සාදාරණය ඉෂ්ඨ කර දෙන මෙන් ඉල්ලා සිටිනවා.‘