‘ගල්, වැලි, පස් ප්‍රවාහන බලපත්‍ර අහෝසි කිරීමේ තීරණය තාවකාලිකයි‘


(ඩයනා උදයංගනී)
 

ගාල් , වැලි සහ පස් ප‍්‍රවාහනයේදී බලපත‍්‍ර ලබාගැනීමේ ක‍්‍රමය අහෝසි කර ඇත්තේ තාවකාලික අත්හදාබැලීමක් ලෙස බවත්, මෙම තීරණයෙන් ඇතිවන ප‍්‍රතිඵල අධ්‍යයනය කර එය දිගුකාලීනව ක‍්‍රියාත්මක කරන්නේද යන්න තීරණය කරන බවත් කැබිනට් ප‍්‍රකාශක,  අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
 
 මෙලෙස බලපත‍්‍ර අහෝසි කිරීමෙන් වැලි, ගල් හා පස් මිල පහත වැටිය යුතු බව කී ඇමතිවරයා එම සහනය ජනතාවට ලැබෙන්නේද යන්න මෙන්ම මෙයින් අයහපත් ප‍්‍රතිඵල ඇතිවේද යන්න අධ්‍යයනය සදහා විශේෂඥ කමිටුවක් පත්කර තිබෙන බව ද සදහන් කළේය.
 
 එම කමිටුව විසින් මෙම කරුණු අධ්‍යයනය කිරීමෙන් පසු ලබාදෙන වාර්තා අනුව බලපත‍්‍ර අහෝසි කිරීමේ තීරණය ඉදිරියට ගෙනයන්නේද යන්න ගැන ලබන සතියේ පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීරණයක් ගන්නා බව ද බන්දුල ගුණවර්ධන මහතා මේ බව කීවේය.

කෙසේ වෙතත් මෙම තීරණය හේතුවෙන් කිසිදු පරිසර හානියක් නොවීමට වගබලාගන්නා බව කී ඇමතිවරයා වැලි තොටුපලවල වැලි ගොඩදැමීම, පස් හා මැටි කැපීම ආදිය සදහා ලබාගත යුතු බලපත‍්‍ර ක‍්‍රමයෙහි හෝ පරිසර ආරක්‍ෂාව වෙනුවෙන් පනවා ඇති නීතිවල කිසිදු වෙනසක් කර නැතැයිද ප‍්‍රකාශ කළේය.

 

කැබිනට් ප‍්‍රකාශක, අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ‍්‍රවණාගාරයේදී අද (5) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ රැස්වීමේදී අදහස් දක්වමිනි.

 වැලි,ගල් හා මැටි ප‍්‍රවාහනයට අදාළ බලපත‍්‍ර නිකුත් කිරීමේදී විවිධ අක‍්‍රමිකතා සිදුවීම, මේ හේතුවෙන් ඒවායේ මිල ඉහළයාම නිසා ඉදිකිරීම් කටයුතුවලදී දැරීමට සිදුවන පිරිවැය ඉහළයාම, උළු ආදී නිෂ්පාදකයින්, කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ නියුතුවූවන් අපහසුතාවයට පත්වීම ආදිය සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් කිහිප දෙනෙකු දැක්වූ අදහස් සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බව ද ඇමතිවරයා කීවේය.
 
 මෙම තීරණය සමගම වැලි තොටුපලවල්, මැටි කපන ස්ථාන ආදියේ ආරක්‍ෂාව වැඩි කරමින් පරිසර හානි අවම කරගැනීමට පියවර ගෙන ඇතැයිද හෙතෙම සදහන් කළේය.
 

 (ඡායාරූප - ලහිරු හර්ෂණ)