‘කොළඹ-තූත්තුකුඩි නැව් සේවය යළිත් ‘


වසර හයක සිට නතර වී තිබෙන කොළඹ සහ තූත්තුකුඩිය අතර නැව් සේවය යළි පටන් ගැනීම කෙරෙහි  තමිල්නාඩු ප‍්‍රාන්ත රජයේ අවධානය යොමුව ඇතැයි ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත් සේවය අද (17) වාර්තා කළේය.

විශේෂයෙන්ම ස්වේච්ඡාවෙන් දිවයිනට පැමිණීමට කැමැත්තෙන් සිටිනා තමිල්නාඩු ප‍්‍රාන්තයේ සරණාගත කඳවුරුවල වෙසෙන ශ්‍රී ලාංකික සරණගතයින් යළි ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක කිරීම වෙනුවෙන් මෙම නැව් ප‍්‍රවාහන සේවය යළි ඇරඹීම අවශ්‍යතාවය මතුව ඇතැයි තමිල්නාඩු ප‍්‍රාන්ත රජය පෙන්වා දෙයි.

මෙම ලාංකික සරණාගතයින් දිවයිනට ගෙන්වා ගැනීමට කොළඹ සහ තූත්තුකුඩිය අතර නැව් සේවය යළි පිහිටුවීමට අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගන්නා ලෙසට යෝජනා කරමින් එම ප‍්‍රාන්ත රජය මේවන විටිත් ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත ලිඛිතව දන්වා ඇත.

මෙම නැව් සේවාව යළි ඇරඹීම වෙනුවෙන් තමිල්නාඩු නාවික බලධාරීන් සහ ප‍්‍රාන්ත රාජ්‍ය නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් ඉකුත් පෙබරවාරි මාසයේදී පැවැත්වීමට නියමිතව තිබුණද ,එම කාලයේ පැවති දේශපාලන කැළඹීම් හේතුවෙන් ඒ ගැන සාකච්ඡා කිරීම කල් ගිය බව තමිල්නාඩු ප‍්‍රාන්ත රජයේ ප‍්‍රකාශයෙක් උපුටා දක්වමින් ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත් සේවා වාර්තා කර තිබිණි.

විශේෂයෙන්ම මෙම නැව් සේවාව යළි ආරම්භ කළහොත් තමිල්නාඩුවේ දිස්ත‍්‍රික්ක 24 ක පිහිටි සරණාගත කඳවුරු 107 ක වෙසෙන ලාංකික සරණාගතයින් 62,629 ක් සහ කඳවුරු වලින් පිටත ජීවත්වන ලාංකික සරණාගතයින් 36 ,794 දෙනා හට යළි දිවයිනට පැමිණීමට අවශ්‍ය පහසුකම් සැලසෙනු ඇතැයි තමිල්නාඩු බලධාරීහු පෙන්වා දෙති.

එසේම එම සරණාගතයින් ගෙන් වැඩි දෙනෙක් ස්වකැමැත්තෙන් අදාළ නැව් සේවාව හරහා යළි සිය රටට පැමිණීමේ අපේක්ෂාවෙන් සිටින බවද එම බලධාරීහු කියා සිටිති.

ශ්‍රී ලංකාවේ පැවති යුද ගැටුම් අවසානයත් සමඟ 2011 දී එවකට පැවති ශ්‍රී ලංකා රජය හා තමිල්නාඩු ප‍්‍රාන්ත රජය අතර ඇති කර ගත් අවබෝධතා ගිවිසුමක් යටතේ එම නැව් ප‍්‍රවාහන සේවාව ආරම්භ කෙරිණ.නමුත් මාස පහකට පසු එම සේවාව භාවිතා කරන මඟී පිරිස් අඩුවීම නිසා එම නැව් සේවාව අත්හිටුවීමට සිදුවිණි.

-125