‘එජාපය නීතිය අවනීතිය කරනවා‘


(නිමල කොඩිතුවක්කු)

තමන්ගේ දේශපාලන ප‍්‍රතිවිරුද්ධවාදින් මර්ධනය කිරීම සදහා රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය නීතිය අවනීතිය කරමින් සිටින බව හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා කොළඹදී අද(25)  පැවැසීය.

ඔවුන් මේ වෙනුවෙන්  ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව පවා උපයෝගි කරගෙන ඇතැයිද ඔහු එහිදි සදහන් කළේය.

ඇතුල්කෝට්ටේ පිහිටි වියත්මග ප‍්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවැසීය.

එහිදී වැඩිදුරටත්  අදහස් දැක්වූ හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා මෙසේද කීය.

‘‘යහපාලනය මුවාවෙන් මේ රජය දිගින් දිගටම  නීතියේ ආධිපත්‍යයට හානි පමුනුවමින් සිටිනවා. බි‍්‍රතාන්‍යය පාලනයේ සිටම පැවති නිීතියේ ආධිපත්‍යය මේ රජය විනාශ කර තිබෙනවා.

ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ප‍්‍රකාශයට පත්ව තිබෙනවා.  2011 දී ලලිත් කූගන් අතුරුදන් විම සම්බන්දයෙන් සාක්ෂි දෙන්න  යාපනය මහේස්ත‍්‍රාත් අධිකරණය ඔහුව කැදවලා තියෙනවා.

ගෝටාභය රාජපක්ෂ මහතාගේ විදෙස් ගමන් බලපත‍්‍ර පිළිබදවත් නඩුවක් ගොනු කරලා තියෙනවා. ගෝටාභය රාජපක්ෂ මහතා 2005  ජනාධිපතිවරණයේදි ඡන්ද හිමිකමක් නැතුව ඡුන්දය පාවිච්චි කළා කියලා මේ නඩුව පවරලා තියෙනවා. 2005  සිද්ධියකට පැමිණිල්ල කරලා තියෙන්නේ මේ වසරේ අගෝස්තු 15 වනදායි. අවුරුදු 14කට පස්සේ තමයි මේ අය අවදිවෙලා තියෙන්නේ. 

ගෝඨාභය රාජපක්ෂ මහතා 11  වැනිදා  පොදු පෙරමුණෙන් අපේක්සකයා ලෙස ඉදිරිපත් වුණා. ඉන් දින හතරකට පසුව තමයි මේ නඩුව ගොනු කරලා තියෙන්නේ. මේ ගැන නඩු අහලා තීන්දු දෙන්න අවශ්‍ය තරම් කාළය තිබියදී ගෝටාභය රාජපක්ෂ  ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අවස්ථාවේදීම මේ නඩුව කැදවීමෙන්ම මේ අයගේ අරමුණ පැහැදිලි වෙනවා.

සිවිල් සංවිධාන නියෝජිතයන් දෙදෙනෙක් පොලිස්පතිවරයාට මේ පැමිණිල්ල ඉදිරිපත් කරහම අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව මේ ගැන විමර්ශන සිදුකරනවා. මේ දේවල් සිද්ධ වෙන්නේ දේශපාලන හස්තයකින් බව ඉතාම පැහැදිලියි. 

මේ රජය 2015 ජනවාරි 08 වනදා බලයට පත්වෙලා විරුද්ධවාදීන්ගෙන් පලිගැනීම සදහා මූළ්‍ය  අපරාධ විමරෂණ කොට්ඨාසය ස්ථාපිත කළා. මේ මූල්‍ය  අපරාධ විමර්ශන කොට්ඨාසය ඇති කිරීමම නීති විරෝධියි. නීති විරෝධීව  පිහිටවූ ආයතනයකින් සිදුවන විමර්ශන ඔක්කොම නීති විරෝධීයි.  ඒ ගැන  තර්කයක් නැහැ.

මූල්‍ය  අපරාධ විමර්ශන කොට්ඨාසය කරන පරීක්ෂණ අනුව කෙලින්ම මහාධිකරණයට අධිචෝදනා ඉදිරිපත් කිරීම තමයි නීතිපතිතුමා කරලා තියෙන්නේ.   බැසිල් රාජපක්ෂ මහතාට අධි චෝදනා 6ක් ඉදිරිපත් කරලා තියෙනවා. ගෝඨාභය  රාජපක්ෂට ඊටත් වැඩියි. මේ නීති විරෝධී  ඒකකය මගින්  කරනු ලැබූ පරීකෂන මත තමයි මේ නඩු යන්නේ. මම නීතිපති දෙපාර්තමේන්තුවේ  අවුරුදු 20ක් සේවය කලා. මේ වගේ එකක් මට ගෙනාවනම් මම වීසි කරලා දානවා.

දැන් විශේෂ මහාධිකරණ මගින් මේ නඩු කටයුතු විභාග කරගෙන යනවා. පළමු නඩුවෙන්ම ගාමිණී සෙනරත් මහතා නිදහස් වුණා. විනිශ්චයකාරයෝ තීරණය කළා කිසිම  සාක්ෂියක් නැහැ කියලා. සාක්ෂි නැත්නම් ඒ නීති විරෝධි විභාගය මත අදිචෝදනාව යවපු නීතිපති අස්විය යුතුයි.

දැන් දිල්රුක්ෂිි වික‍්‍රමසිංහ  ගැන චෝදනාවක් තියෙනවා. නීතිපතිත්  මේකට වගකියන්න  ඕන. ගෞරවයක් තියෙනවනම්  ඒ තැනැත්තා ඒ තනතුරින් ඉවත්වෙන්න  ඕන.

දැන් ගෝටාභය රාජපක්ෂ මහතාගේ  නඩුව මැතිවරණ සමයේ ඉදිරිපත් වෙලා තියෙනවා. ප‍්‍රජාතන්ත‍්‍රවාදයට  ගරු කරමින් ඒ නඩුව කල් දාලා පස්සේ විභාගයට ගනිවී කියලා මම විශ්වාස කරනවා."