(ඩයනා උදයංගනී)
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව ගෙනඒමට පෙර ඉන්දියානු බුද්ධි අංශය හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට යෝජනාවක් කළ බවත් එය පිළිගත්තේ නම් මානව හිමිකම් චෝදනා එල්ලවීම වළක්වා ගැනීමට තිබූ බවත් සමාජ සේවා හා සමාජ සුභසාධන අමාත්‍ය එස්.බී දිසානායක මහතා පවසයි.
නමුත් එතුමාගේ හා රටේ අවාසනාවට මහින්ද රාජපක්‍ෂ මහතා එය පිළිනොගත් බව ඒ මහතා කියයි.
උතුරු පළාතේ ඡන්දය ඉක්මන් කිරීම, උතුරු නැගෙනහිර මීළඟ ආණ්ඩුකාරවරුන් ලෙස හමුදා භටයින් පත්නොකරන බවට හා ඉඩම් හා පොලිස් බලතල පිළිබඳ ප‍්‍රශ්නය නැවත විමසා බැලීමට කොමිසමක් පත්කරන බවට ප‍්‍රකාශයක් කරන ලෙසත් එම යෝජනාවේ තිබූ බව දිසානායක මහතා පවසයි.
එදා එය පිළිනොගැනීම වරදක් බව පසුව මහින්ද රාජපක්‍ෂ මහතා තේරුම් ගත් බව ද ඒ මහතා ප්‍රකාශ කරයි.
එදා ජාත්‍යන්තර වශයෙන් මේ ගැන දන්නා දේශපාලනඥයන්ගේ හා විද්වතුන්ගේ මතය වූයේ ඒවාට එකඟ විය යුතුය යන්න බවත් මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපතිවරණය ඉක්මනින් පැවැත්වූයේ එයින් පසු ඉන්දියාවේ සහය ලබාගෙන චෝදනාවලට මුහුණදීමට සිතාගෙන බවත් ඒ මහතා පවසයි.
ඉන්දියාව ශ්‍රී ලංකාව සමග සිටියේ නම් යුරෝපය ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනා ගෙන නොඑන බව ද ඒ මහතා කියයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද (17) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

