‘ඇක්ට් 16‘ කල්දැමුවැයි ගොනුකළ පෙත්සම විභාගයට


(මනෝප්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)

විදේශ විශ්ව විද්‍යාලවලින් වෛද්‍ය උපාධිය ලබාගෙන මෙරටට පැමිණි පසු මුහුණ දිය යුතු ‘ඇක්ට් 16’ සහ ‘ඊ.ආර්.පී.එම්.’ විභාග සයිටම් ගැටළුව හේතුවෙන් කල්දැමීම නිසා තමන්ගේ මුලික අයිතිවාසිකම් උල්ලංඝණය වන බව සඳහන් කරමින් විදේශ විශ්ව විද්‍යාලයකින් වෛද්‍ය උපාධිය හිමිකරගත් සිසුවියක විසින් පවරා ඇති මුලික අයිතිවාසිකම් නඩුව විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (25) අවසර දුන්නේය.
 
සෞඛ්‍ය අමාත්‍යවරයා සහ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් කරමින් එම පෙත්සම ගොනු කර තිබේ.
 
‘ඇක්ට් 16’ විභාගය කල් දැමීමට වෛද්‍ය සභාව ගත් එම තීරණය හේතුවෙන් තම මුලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට ප්‍රකාශ කර වෛද්‍ය සභාවෙන් හා එහි ලේඛාධිකාරීවරයාගෙන් රුපියල් මිලියනය බැගින් වන්දි අය කරදෙන ලෙසද ඉල්ලමින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ කැලණිය වේවැල්දුවේ පදිංචි සක්ෂාරා වරනානි රණසිංහ නමැති සිසුවියයි.

වෛද්‍ය සභාව මගින් පවත්වනු ලබන අදාළ විභාග පසුගිය මැයි 15,18 වැනි දිනවල පැවැත්වීමට නියමිතව තිබුණත් එම විභාග කල්තැබීමට වෛද්‍ය සභාව ගත් තීරණය අහෝසි කරන ලෙසද පෙත්සමින් ඉල්ලා ඇත.මෙම පෙත්සම ලබන දෙසැම්බර් 04 වැනිදා  විභාග  කිරීමට තීන්දු කෙරිණි.