(සුජිත් හේවාජුලිගේ)
පාස්කු ඉරුදින ප්‍රහාරය දැනගෙනත් යම් බලධාරියකු ප්‍රහාරය වැළැක්වීමට පියවර නොගත්තා නම් එය බරපතළ මට්ටමේ රාජකාරි පැහැර හැරීමක් බව ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් කපිල වෛද්‍යරත්න මහතා පාස්කු ඉරුදින ප්‍රහාරය ගැන කරුණු සොයන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි දෙමින් ඊයේ (31) පැවැසීය.
ගිය වසරේ ඔක්තෝබර් 23 වැනිදා පැවැති ආරක්ෂක මණ්ඩල රැස්වීමට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සහභාගි කර නොගන්නැයි ජනාධිපතිවරයා තමාට උපදෙස් දුන් බව කී වෛද්‍යරත්න මහතා ඒ මොහොත වනවිට පොලිස්පතිට විරුද්ධව විමර්ශනයක් ක්‍රියාත්මක වුණු බව ද ප්‍රකාශ කළේය.
ආරක්ෂක මණ්ඩලයට විපක්ෂයේ මන්ත්‍රීවරුන් සහභාගි කරවා ගැනීම පලක් නැති වැඩක් බව තමාගේ පෞද්ගලික මතය යැයි ද තමාගේ කාලයේ ආරක්ෂක මණ්ඩලයේ දී තමා කිසිවකුටත් දුරකතන පාවිච්චි කිරීමට ඉඩ නොදුන් බවද කීවේය.
පසුගිය කාලයේ දී මෙරටට පැමිණි සැකකටයුතු පිරිසක් ගැන විමසිලෙන් සිටි පොලිස්පතිවරයාට හා රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියාට ඒ ගැන උපදෙස් මාලාවක් දුන් බව කී හිටපු ආරක්ෂක ලේකම්වරයා අන්තවාදී කණ්ඩායම් ගැන ද ආරක්ෂක මණ්ඩලයේ දී නොයෙක්වර සාකච්ඡා කෙරුණු බව සඳහන් කළේය.
තමා ආරක්ෂක ලේකම් තනතුරින් ස්වේච්ඡාවෙන් ඉවත් වුණේ පෞද්ගලික හා රාජකාරිමය හේතු මත යැයි කී වෛද්‍යරත්න මහතා ඒ වන විට තමා වෙහෙසට පත්ව සිටි බවද කීය.
ඔක්තෝම්බර් 26 වැනිදා සිද්ධිය සමග තමා තනතුරේ තවදුරටත් ඉන්න ඕනෑ දැයි තමාගෙන්ම ප්‍රශ්න කර ගත් බවත් ඒ අවස්ථාවේදී තමාට බරපතළ ව්‍යවස්ථා අර්බුදයක්ද පෙනෙන්නට පටන් ගත් බවත් හෙතෙම පැවැසීය.
පාස්කු ඉරුදින ප්‍රාරය ගැන කරුණු සොයන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව එහි නියෝජ්‍ය සභාපති ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (31) පෙරවරුවේ රැස්විය.
ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් කපිල වෛද්‍යරත්න මහතා සාක්ෂි දෙමින් මෙසේ පැවැසීය.
නි.සභාපති ජයම්පත් වික්‍රමරත්න මහතා කවුරුන් හෝ ආරක්ෂක මණ්ඩලයට පොලිස්පති කැඳවන්න එපා කිව්වාද?
කපිල වෛද්‍යරත්න මහතා:
ඒක මා සහභාගි වුණු අවසන් රැස්වීම. පූජිත ජයසුන්දර මම දුරකතනයෙන් කතා කළා. ඒ 2018 ඔක්තෝබර් 23 වැනිදා. ආරක්ෂක මණ්ඩල රැස්වීම කැඳවන්න කියලා ජනාධිපතිතුමා මට උපදෙස් දුන්නා. මා ඒ උපදෙස් ජාතික බුද්ධි ප්‍රධානියාට පැවැසුවා. ඒ රැස්වීමට පොලිස්පති පැමිණීම අවශ්‍ය නැහැ කියල ජනාධිපතිතුමා මට කිව්වා. ඒ වෙනකොට පොලිස්පතිතුමාට විරුද්ධව විමර්ශනයක් තිබුණා. ඊට පෙර සෑම ආරක්ෂක මණ්ඩල රැස්වීමකටම පූජිත සහභාගි වුණා. පොලිස්පතිතුමාට එන්න එපා කිව්වේ ඒ රැස්වීමට පමණයි.
ජයම්පත් වික්‍රමරත්න මහතා:
එදින පොලිසිය නියෝජනය කළේ කවුද?
වෛද්‍යරත්න මහතා:
ඒක මට මතක නැහැ.
නලින්ද ජයතිස්ස මහතා:
ඔබ ආරක්ෂක ලේකම් විදියට අවුරුද්දයි මාස තුනක් කටයුතු කළා ඔබගේ කාලයේදී ආරක්ෂක මණ්ඩලය නිශ්චිත පිළිවෙලකට කැඳවුයේ නැහැ.
වෛද්‍යරත්න මහතා:
ඒක හරි
සරත් ෆොන්සේකා මහතා:
අතීතයේදී නම් දිනය දැනුම් දුන්නා එන්න ඕනෑ අය ආවා
වෛද්‍ය රත්න මහතා:
අප එන අයටත් දැනුම් දුන්නා
නලින්ද ජයතිස්ස මහතා:
අගමැතිතුමාට ආරාධනා කළාද?
වෛද්‍යරත්න මහතා:
දැනුම් දුන්නා. අගමැති බොහෝ අවස්ථාවලදී ඊට සහභාගි වුණ. ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතාටත් දැනුම් දුන්නා.
එම්.ඒ. සුමන් තිරන් මහතා:
බුද්ධි විශ්ලේෂණ රැස්වීමේදී වැදගත් දේවල් කතා කරනවා.
වෛද්‍යරත්න මහතා:
ඔව් දිගන සිද්ධියේදී ජනාදිපතිතුමා කෙළින්ම සම්බන්ධ වුණා. අප අපට ලැබෙන තොරතුරු ජනාධිපතිතුමාට දැනුම් දුන්නා. මට ඕන වෙලාවක ජනාධිපතිතුමා හා සම්බන්ධ වෙන්න පුළුවන්කම තිබුණා.
නලින්ද ජයතිස්ස මහතා:
සමහර තොරතුරු ඔබ දැනුම් දීමට පෙර ජනාධිපතිතුමා දැනගෙන හිටියේ නැහැ.
වෛද්‍යරත්න මහතා:
ඔව්. දිගන සිද්ධිය ගැන එතුමා දැනගෙන හිටියා
සරත් ෆොන්සේකා මහතා:
ජාතික බුද්ධි ප්‍රධානියා හා රාජ්‍ය බුද්ධි අමාත්‍ය ජනපති සමඟ කෙළින්ම කතා කරනවාද?
වෛද්‍ය රත්න මහතා:
මට ඒකට උත්තර දෙන්න බැහැ. ඒකට උත්තර දෙන්න ඕන ජනාධිපතිතුමා
ආශූ මාරසිංහ මහතා:
ආරක්ෂක මණ්ඩලයේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඉන්න ඕනද?
වෛද්‍යරත්න මහතා:
මම හිතන්නේ අවශ්‍ය නැහැ. ඒක මගේ පෞද්ගලික මතය. ප්‍රහාරය ගැන තොරතුර යමකු ක්‍රියාත්මක නොකළ නම් ඒක රාජකාරිය පැහැර හැරීමක්
නලින්ද ජයතිස්ස මහතා:
ජාතික ආරක්ෂක කවුන්සිලයේදී සමහර නිලධාරින් නොසැලකිල්ලෙන් කටයුතු කළා ද?
වෛද්‍යරත්න මහතා:
ආරක්ෂක මණ්ඩලයේ ශුද්ධ වූ තැනක් මම ඒ තැන ටෙලිෆෝන් පාවිච්චි කරන්න ඉඩ දුන්නේ නැහැ. මොකද මම ඒකට කැමැති නැහැ.
නලින්ද ජයතිස්ස මහතා:
ලංකාවට ආපු සැකකටයුතු අය ගැන විමසිල්ලෙන් සිටියාද?
වෛද්‍යරත්න මහතා:
ඔව් අප ඒ ගැන පොලිස්පතිතුමාට රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියාට උපදෙස් දී තිබුණා.
සරත් ෆොන්සේකා මහතා:
ආරක්ෂක ඇමැති සහරාන් ගැන ක්‍රියාත්මක වෙන්න යම් උපදෙසක් දුන්නද?
වෛද්‍යරත්න මහතා:
මට මතක නැහැ
සරත් ෆොන්සේකා මහතා:
ඔබ තනතුරින් ඉවත් වුණේ පෞද්ගලික හේතුවක් මතද?
වෛද්‍ය වරයා මහතා:
පෞද්ගලික හා රාජකාරි හේතු මත මම රාජකාරි මට්ටමින් වෙහෙසට පත්වී සිටියා.
සරත් ෆොන්සේකා මහතා:- මොකක්ද වෙහෙස.
වෛද්‍යරත්න මහතා:-
ඔක්තෝබර් 26 සිද්ධිය නිසා මම තනතුරේ ඉන්න ඕනද කියලා හිතුවා. ව්‍යවස්ථා අර්බුදයක් දැක්කා.
එම්.ඒ. සුමන්තිරන් මහතා:-
ඔබ ඔය සිද්ධිය වනවිට ආරක්‍ෂක ලේකම් තනතුරේ හිටියා නම් මොකද කරන්නේ?
වෛද්‍යරත්න මහතා:- නඩු විභාගය අවසන් වනතුරු මට මේ ගැන කතා කරන්න බැහැ.
සුමන්තිරන් මහතා:- ජනාධිපතිතුමාට දැනුම් දෙනවාද?
වෛද්‍යරත්න මහතා:- ඔව්. දැනුම් දෙනවා. එවැනි තොරතුරක් ලැබුණා නම් සාකච්ඡා කරනවා.
යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ දෙවැනි දිනයටත් සාක්‍ෂි දෙමින් මෙසේ කීය.
නියෝජ්‍ය සභාපති ජයම්පති වික්‍රමරත්න මහතා:- කලින් ඔබගෙන් සාක්‍ෂි ගත්තේ සීමිත කරුණු කිහිපයකට අදාළව පමණයි. අද අනෙක් කරුණු සම්බන්ධයෙන් සාක්‍ෂි ගන්නවා.
සරත් ෆොන්සේකා මහතා:- මේ ත්‍රස්තවාදය දිගින් දිගටම සිදුවන බව පේනවා. දේශපාලනඥයන් ත්‍රස්තවාදය ගැන මොනවා කිව්වත් මා ඉන්නේත් ඔබගේ මතයේයි. බුද්ධි අංශ ප්‍රතිසංවිධානයට කොපමණ කාලයක් යනවාද?
යුද හමුදාපති:- ඒකට කාලයක් යාවි. ඒත් අප ඊට මුල පුරලා තියෙනවා. ප්‍රතිසංස්කරණයට තිබූ බාධා හා අභියෝග මේවන විිට අවසන්වී තිබෙනවා.
සරත් ෆොන්සේකා මහතා:- කාල වේලාවක් කියන්න පුළුවන්ද?
යුද හමුදාපති:- කාලයක් ගැන කියන්න බැහැ. මේ වැඩකටයුත්තට සියලු දෙනා සහාය දැක්විය යුතුයි. අනෙක් රටවලට වඩා ලොකු කාලයක් යාවි.
සරත් ෆොන්සේකා මහතා:- ජාතික බුද්ධි ප්‍රධානියා මීට වඩා බලගතු විය යුතු යැයි ඔබ මීට පෙර කීවා. ඒ කියන්නේ ජාතික බුද්ධි ප්‍රධානියා බලගතුව සිට නැති බවයි.
යුද හමුදාපති:- ජාතික බුද්ධි ප්‍රධානියා පිළිගත හැකි තැනට පත් කළ යුතුයි. ඔහුට නිවැරදි
දැක්මක් තිබිය යුතුයි.
සරත් ෆොන්සේකා මහතා:- මීට කලින් මේවා දැනගෙන හිටියා කියලා ඔබ කිව්වා. මොනවාද දැනගෙන හිටියේ.
යුද හමුදාපති:- මුස්ලිම් අන්තවාදය ගැන යම් තොරතුරු ප්‍රමාණයක් ලැබිල තිබුණා. ජාලයක් ගැන දැනගත්තු දේවල් විවිධ ස්ථානවලදී සාකච්ඡා කළා. සමහර තොරතුරු ජාතික බුද්ධි ප්‍රධානියාටත් පොලිස්පතිතුමාටත් දැනුම් දුන්නා. එම ජාලය දැනගෙන හිටියා. සිද්ධියෙන් පසුව පිරිස් අත්අඩංගුවට ගැනීමට හැකිවුණේ ඒ තොරතුරු දැනගෙන හිටි නිසයි. තවත් සැකකරුවන් තවමත් පැනලා ඉන්නවා.
සරත් ෆොන්සේකා මහතා:- ඔබතුමා සිංහයකු වගේ, හමුදාවට අණ දෙන්න. මම ඔබතුමාට සුබ පතනවා.
යුද හමුදාපති:- බොහොම ස්තූතියි.
නලින්ද ජයතිස්ස මහතා:- ඔබ මේ තොරතුරු දැනුම් දුන්නා. මේවා ආරක්‍ෂක මණ්ඩලයේදී සාකච්ඡා කළාද?
යුද හමුදාපති:- ඔව්. සාකච්ඡා කළා.
නලින්ද ජයතිස්ස මහතා:- ප්‍රහාරය ගැන තොරතුරු රැසක් ලැබුණා.
යුද හමුදාපති:- අප දැනුම්වත් කළා නම් භට පිරිස් යොදවන්න තිබුණා. දැනුම්වත් කිරීම්
නොකිරීම ගැන කනගාටු වෙනවා.
නලින්ද ජයතිස්ස මහතා:- දිගන සිද්ධියේදී හමුදාව යොදවන්න කිව්වේ කවුද?
යුද හමුදාපති:- ජනාධිපතිතුමා.
නලින්ද ජයතිස්ස මහතා:- රාජ්‍ය බුද්ධි අංශය ඒ තොරතුරු දැනුම් දුන්නාද?
යුද හමුදාපති:- ඒ තොරතුරු අවශ්‍ය වෙලාවට ලැබුණේ නැහැ. මා මේ ගැන පරීක්‍ෂණයක් කළා. මගේ කිසිම නිලධාරියකු දැනගෙන හිටියේ නැහැ. අප යම් යම් විමර්ශන කරද්දී එදා ටී.අයි.ඩී. එකෙන් සහාය ලැබුණේ නැහැ.
ජයම්පති වික්‍රමරත්න මහතා:- ඔබ ජනාධිපතිට කෙළින්ම කතා කරනවාද?
යුද හමුදාපති:- සමහර අවස්ථාවලදී. සමහර තොරතුරු ආරක්‍ෂක ලේකම් හරහා දැනුම් දෙනවා.
ආශු මාරසිංහ මහතා:- ඔබ හමුදාපති තනතුරට පත් වුණේ කවදාද?
යුද හමුදාපති:- 2017 ජූලි මස 4 වැනිදා.
ආශු මාරසිංහ මහතා:- ඔබ එදා මෙදාතුර ආරක්ෂක මණ්ඩල රැස්වීම් කීපයකට සහභාගී වී තිබෙනවාද?
යුද හමුදාපති:- දාහත් වතාවක් විතර.
ආශු මාරසිංහ මහතා:- ආරක්ෂක මණ්ඩල
රැස්වීම පැවැත්විය යුත්තේ මාසයකට වතාවක්ද?
යුද හමුදාපති:- අවම වශයෙන් මාසයකට දෙපාරක්වත් රැස්විය යුතුයි. නමුත් මාසයකට එක රැස්වීමක්වත් නොපැවැත්වුණු අවස්ථාත් තිබුණා.
ආශු මාරසිංහ මහතා:- සහරාන්ගේ කටයුතු ගැන ආරක්‍ෂක මණ්ඩලයේ සාකච්ඡා කළාද?
යුද හමුදාපති:- ඔව්. සාකච්ඡා කළා. සමහරුන් ආරක්‍ෂක මණ්ඩලයේ ඉන්නේ ටික වෙලාවයි. ආවා නම් ඒ පැය දෙක ඉන්න ඕන. වෙන වෙන වැඩවලට යනවා.
ආශු මාරසිංහ මහතා:- ජාතික බුද්ධි ප්‍රධානියාට බලයක් දී තිබුණේ නැහැ.
යුද හමුදාපති:- ඔව්.
සරත් ෆොන්සේකා මහතා:- හැම තීරණයක්ම ඔබලාට තනිවම ගන්න බැහැ. ආරක්‍ෂක ඇමැතිගෙන් උපදෙස් ගන්න ඕන.
යුද හමුදාපති:- උපදෙස් ලැබිය යුතුයි.
සරත් ෆොන්සේකා මහතා:- අවශ්‍ය තොරතුරු එන විදියට යාන්ත්‍රණය හදා ගැනීම ආරක්‍ෂක ඇමැතිගේ වගකීමක්.
ආශු මාරසිංහ මහතා:- ආරක්‍ෂක මණ්ඩලයට විපක්‍ෂයේ අය සහභාගි වුණාද?
යුද හමුදාපති:- ඔව්. විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් සහභාගීවීම අවශ්‍ය නැහැ. විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් රාජ්‍යය
නොවෙයි.
ආශු මාරසිංහ මහතා:- ආරක්‍ෂක මණ්ඩලයට පිටස්තර අය කැඳවීමේ බලය තියෙන්නේ කාටද?
යුද හමුදාපති:- ආරක්‍ෂක ඇමැතිතුමාට. සමහර රහස්‍ය තොරතුරු අප ඒ පිටස්තර අය ඉදිරියේදී කියන්නේ නැහැ. එයාලා ගියාම ඒ රහස්‍ය තොරතුරු ප්‍රකාශ කරනවා. රටේ ආරක්‍ෂාව ගැන සැවොම අවධියෙන් ඉන්න ඕනෑ.
සරත් ෆොන්සේකා මහතා:- ආරක්‍ෂාව බාරව ඉන්න අයද ඇතුළුව.
යුද හමුදාපති:- (සිනාසෙමින්) පැහැදිලිව.
ආශු මාරසිංහ මහතා:- වාණිජ වශයෙන් පාවිච්චි කරන පුපුරණ ද්‍රව්‍ය ත්‍රස්තවාදීන් යොදාගෙන තිබුණා.
යුද හමුදාපති:- මෙතැන පාලනයක් තිබිය යුතුයි. නාවික හමුදාව දැන් ක්‍රමවේදයක් හදලා තියෙනවා.
(යුද හමුදාපතිවරයාගේ සාක්‍ෂිය අවසන් විය.)
පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද (1) පස්වරු 1.00 ට යළි රැස්වීමට නියමිතය.

