‘ආයුර්වේද ඖෂධ නිෂ්පාදනයටත් බාධා‘


(අංජුල මහික වීරරත්න)

ආයුර්වේද ඖෂධ නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය කිරීමට මුදල් නොමැතිවීම හේතුවෙන් වියළි ඖෂධ 237 ක් සහ අමු තත්ත්වයේ ඖෂධ 136 ක් නිෂ්පාදනය කිරීමට නොහැකිව ඇතැයි රජයේ ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සංගමය අනාවරණය කළේය.

ඔවුන් මෙම අනාවරණය කළේ අග්‍රාමාත්‍යවරයා පත් කළ සෞඛ්‍ය කමිටුවේ ප්‍රධානී රුවන් විජයවර්ධන මහතා සමඟ  අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදී ය.

ඩොලර් ගැටළුව හා සැපයුම්කරුවන්ට මුදල් නොගෙවීම යන කාරණය මත මෙලෙස අමුද්‍රව්‍ය සැපයීම ඇනහිට ඇතැයි එහිදී රජයේ ආයුර්වේද වෛද්‍යවරු හෙළිදරව් කළහ.

 මේ නිසා දිවයින පුරා පවතින ආයුර්වේද රෝහල්වල හා බෙහෙත් ශාලාවල දැඩි ඖෂධ හිඟයක් පවතින බවද ඔවුහු සඳහන් කළහ.

ආයුර්වේද වෛද්‍යවරුන් 2750 ක් පමණ සිටින බවත් ඉන් 1100 ක් ප්‍රජා සෞඛ්‍ය වෛද්‍යවරුන් බවත් එහිදී සඳහන් විය.

ඖෂධ හිඟයට පිළිතුර දේශීය ඖෂධ ආනයනය වෙනුවට  මෙරට ඖෂධ වගාව ඉහළ නැංවීම සඳහා  රජයේ මැදිහත්වීම වැඩිකිරීම බව වෛද්‍යවරු පෙන්වා දුන්හ.