‘අල තැම්බෙනතුරු ඉන්නලු‘


වැලිවේරිය රතුපස්වල කර්මාන්ත ශාලාව අවුරුදු 18ක් තිස්සේ විවෘතවී තිබිය දී සිටියාක් මෙන් තව මාස හයක් ඉවසිය නොහැක්කේ මන්දැයි තෙරිපැහැ සිරිධම්ම හිමියෝ ගම්පොළ මාධ්‍ය සාකච්ඡාවකදී මීට ටික වේලාවකට පෙර ප්‍රශ්න කළහ.

අල බහිනතුරු ඉවසන්න පුළුවන්, අල තැම්බෙනතුරු ඉවසන්න බැරි ඇයැදැයි ඒ හිමියෝ කියති.

කර්මාන්ත ශාලාවේ පැරණි පාලනාධිකාරිය ඉවත් කර නව පාලනාධිකාරියක් පත් කර ඇති මොහොතක ඔවුන් යහපත් ප්‍රතිචාර දක්වා ඇති බවත්, නීතීඥවරුන් දෙදෙනකුගේ හා ගම්පහ පොලිස් අධිකාරීගේ ඉදිරිපිට සාධාරණ ගිවිසුමකට අත්සන් තැබූ බවත් එය මේ ප්‍රශ්නයේ දී ගත හැකි ඉහළම විසඳුම බවත් සිරිධම්ම හිමියෝ පවසති.

‘අපි දැන් හැඟුමෙන් නොවේ බුද්ධියෙන් කටයුතු කරන්න ඕනෑ. මේක සිරිධම්ම හාමුදුරුවන්ගේ පෞද්ගලික තීරණයක් නොවේ. මේ කර්මාන්ත ශාලාව රටවල් 70ක් එක්ක කටයුතු කරනවා. දවසකට රුපියල් කෝටියක පමණ රට සල්ලි අපේ රටට අරගෙන දෙනවා. අපි කියන්නේ මේක වහන්න නොවේ. මේක වෙනත් තැනකට ගෙනියන්නයි. අපිට කිසිම තැනකින් නොලැබෙන විසඳුමක් තමයි දැන් මේ ලැබී තිබෙන්නේ.

පහුගිය දවසක රතුපස්වල පන්සලකට ප්‍රහාරයක් එල්ල කර තිබුණා. මට ඒ ගැන හරිම කනගාටුයි. එහෙම ගැහුව එක වැරදි. හාමුදුරුවන්ගේ වැරදි තියෙන්න පුළුවන්. එත් පන්සලට ගැහුව එක වැරදි.

මා නැති දිනවල සිදුවුණ සිදුවීම් මාලාව දෙස මා බලා සිටියා. සැබෑ නායකත්වයක් නැති තැන වුණු අවුල් මා දුටුවා. මා සිටියදී කිසිම ගැටළුවක් ඇතිවෙන්න තිබ්බේ නෑ.

ලබන මාසේ ලෝක නායකයෝ අපේ රටට එනවා. ඔවුන්ට මේ රටේ හොඳයි පෙන්වන්න ඕනෑ.‘