‘අර්ථසාධක අරමුදලට අමතර බද්දක් ‘


( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

නව දේශීය ආදායම් පනත් කෙටුම්පතෙන් අර්ථ සාධක අරමුදලට අමතර බද්දක් පනවා ඇතැයි ජනාධිපති නීතීඥ මනෝහාර ද සිල්වා මහතා අද (20) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැවසීය.

එම පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සමක් ගොනු කළ පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන මහතා වෙනුවෙන් පෙනී සිටිමින් හෙතෙම මේ බව කියා සිටියේය.

පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇති ‘‘ දේශීය ආදායම් පනත් කෙටුම්පත ’’ අභියෝගයට ලක් කරමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන බන්දුල ගුණවර්ධන ,සිසිර ජයකොඩි ඇතුළු පිරිසක් මෙම පෙත්සම් ගොනු කර තිබිණි.නීතිපති මෙහි වගඋත්තරකරු ලෙස නම් කරනු ලැබ සිටියි.

එම පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සම් 10 ක් අගවිනිසුරු ප‍්‍රියසාත් ඩෙප් ,අනිල් ගුණරත්න සහ නලින් පෙරේරා යන ශ්‍රේෂ්ඨාධිකරණ ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියෙහි අද (20) කැඳවනු ලැබිණි.

මෙම පෙත්සම වෙනුවෙන් කරුණු දැක්වීම අද අවසන් කෙරිණි.ඒ අනුව පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇති ‘‘ දේශීය ආදායම් පනත් කෙටුම්පත ’’ අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති අනෙක් පෙත්සම් පිළිබඳ වැඩිදුර විභාගය හෙට (21) දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ  තීන්දු කළේය.

විහාරස්ථාන ඇතුළු පුණ්‍යායතන වලට ලබා දී තිබූ බදු සහන ඉවත් කරමින් ,සුළු පරිමාණ සිල්ලර වෙළෙන්දාගේ සිට සෑම දෙනා ගෙන්ම බදු  පනවමින් ,එකී බදු එකතු කිරීම සඳහා රජයේ නිලධාරීන්ට අමතරව රාජ්‍ය නොවන සංවිධාන හෝ වෙන  ඕනෑම අයෙකු බදු නිලධාරියෙකු ලෙස පත් කිරීමට අදාළ නව පනත් කෙටුම්පතින් යෝජනා කර ඇති බව එම පෙත්සමෙන් කියැවේ.

එසේම යෝජිත පනත් කෙටුම්පත මඟින් ජනතාවට ලැබී තිබූ සියලූම සහන සහ වරප‍්‍රසාද අහිමි කිරීමේ වැඩපිළිවෙළක්ද සැළසුම් කර ඇති බව සඳහන් වෙයි.

මෙම පනත් කෙටුම්පතෙහි ඇතැම් වගන්තීන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනි බැවින් මෙම පනත් කෙටුම්පත විශේෂ බහුතර මන්ත‍්‍රී සංඛ්‍යාවකින් හෝ ජනමතවිචාරණයකින් අනුමත කරන්නැයි ජනාධිපති නීතීඥ මනෝහාර ද සිල්වා මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.