‘ බැඳුම්කර කොමිසම් වාර්තාවේ අතුරුදන් පිටි 106 පිළීබඳ වහා හෙළි කරන්න‘ - දුෂණ වීරෝධි හඬ


(ඩයනා උදයංගනී)
       බැඳුම්කර වංචාව පිළිබඳ සෙවීමට පත් කළ ජනාධිපති කොමිසමේ වාර්තාවේ රටට හෙළි නොවූ පිටු 106 පිළිබඳව රට තුළ දේශපාලන සුනාමියක් මතු වී ඇති බැවින් එම පිටු 106 වහා රටට හෙළි කරන්නැයි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින බව දුෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා පැවසීය.


  බැඳුම්කර වංචාව වසන් කිරීම සඳහා විවිධ දේශපාලනඥයින් සහ නිලධාරීන් ලබාගත් සන්තෝසම් පිළිබඳ තොරතුරු එම පිටු තුළ අන්තර්ගත බවට රට තුළ සාකච්ඡාවක් පවතින බව ද ඔහු කීවේය.
 
       එමෙන්ම අර්ජුන් ඇලෝෂියස් මහතාගේ සහ ඔහුගේ පියාගේ අත්සනින් යුත් චෙක්පත් 166කින්, ඔවුන්ගේ ගිණුම්වලින් රුපියල් මිලියන 1190ක මුදලක් ලබාදී ඇති බවට නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර ඇති බැවින් එම මුදල් බෙදාදුන්නේ කා හටද යන්න රටට හෙළි කිරීම සඳහාත් ජනාධිපතිවරයා මැදිහත් විය යුතු බව සමරසිංහ මහතා කියා සිටියේය.
 
       එමෙන්ම බැඳුම්කර කොමිසම වෙත බලය ලැබී තිබුණේ 2015 පෙබරවාරි සිට 2016 මාර්තු මස 31 වැනිදා දක්වා පමණක් බවත්, ඉන්පසුත් පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම වංචනික ක‍්‍රියාවල යෙදී ඇති බව හෙළිවී ඇති නිසා 2016 මාර්තු සිට 2017 මාර්තු 31 වැනිදා දක්වා සිදුවී ඇති දේ සෙවීමට දෙවන ජනාධිපති කොමිසමක් පත්කළ යුතු බවද ඔහු සඳහන් කළේය.
 
       වසන්ත සමරසිංහ මහතා මේ බව පැවසුවේ මරදානේ පිහිටි සමාජය හා සාමයික කේන්ද්‍රයේදී අද (3) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
 
       රටේ පවතින තත්ත්වය පිළිබඳව  ඕනෑම අයෙකු සමඟ සාකච්ඡාවකට, සංවාදයට සූදානම් බවට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පසුගියදා පැවති මාදුළුවාවේ සෝභිත හිමි ජන්ම දින සැමරුම් උළෙලේදීද ප‍්‍රකාශ කර ඇති බැවින් එවැනි සංවාදයකට තමන් සූදානම් බව කී වසන්ත සමරසිංහ මහතා ඒ සඳහා අවස්ථාවක් ඉල්ලා තමන් ජනාධිපතිවරයාට ලිපියක් යොමු කළ බවද සඳහන් කළේය.