ළිං වතුර ලෙඩ ආකරයක්


අත්තනගලු ඔයේ ජල පෝෂිත ප්‍රදේශයේ ළිං වතුරේ ඇසිඩ් ප්‍රමාණය වැඩිවීම නිසා බීමට හෝ නෑමට ගත නොහැකිව පවුල් දස දහසක් පමණ පීඩාවට පත්ව සිටිතියි සෞඛ්‍ය බලධරයෝ කියති.

මේ තත්ත්වය මුළු අත්තනගලු ඔය ආශ්‍රිතව වාසය කරන සියලුම දෙනාට බලපානු ඇතැයි ද ඔවුහු අනතුරු අඟවති.

ළිං වතුරේ ඇසිඩ් වැඩිවී පානයට නුසුදුසු බව ජල සම්පාදන හා ජලාපවාහණ මණ්ඩලය කියයි.

මෙම වතුර කිසිසේත්ම පානයට නුසුදුසු බව  ජල සම්පත් මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥයෙක් ජූලි 15 වැනිදාත් වාර්තාවක් මගින් කියයි.

මේ වතුර පාවිච්චි කිරීමෙන් ඇඟිලිකරු හා කට වන වීම, මුහුණ පුරා පලු දැමීම, කැසිල්ල, ඇස්රතුවීම හා උදරාබාධ වැනි රෝග රැසකට ගොදුරු වූවෝ ප්‍රදේශයේ සිටිති.

මාස කිහිපයක් තිස්සේ මේ ප්‍රශ්නයට විසඳුම් නොලැබුණු  බව කියමින් අදත් (28) ඊයේ (27) දෙතුන් දහසක පිරිසක් උද්ඝෝෂණය කළහ.

රතුපස්වල, නැදුන්ගමුව, වැලිවේරිය, හල්ඔළුව, සිවුරලමුල්ල, ඌරුවල, බුත්පිටිය, මාහරගම, පිළිකුත්තුව, කතුරුවත්ත, බැලුම්මහර සහමිරිවත්ත ගම්වාසීහු උද්ඝෝෂණයට සහභාගී වූහ.

එම ජලය පානය කිරීමෙන් රෝගාබාධයන්ට ලක්වූ පිරිස් ද එම උද්ඝෝෂණයට එක් වූහ.

හල්ඔළුව ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරාධිපති තෙරි පැහැ සිරිධම්ම හිමියෝ අද (28) රතුපස්වල ක්‍රීඩාංගනයේදී උපවාසයක් ද ඇරැඹූහ.

 සෙනසුරා උදේ 9ට පමණ උද්ඝෝෂණය ආරම්භ වූ අතර උදේඝෝෂකයෝ නව මහ නුවර පාර වසාගෙන උද්ඝෝෂණය කළහ.

එහි ආ වැලිවේරිය පොලිසියට උද්ඝෝෂකයන් මාර්ගයෙන් ඉයත් කිරීමට නොහැකිවූයෙන් අවට පොලිසිවලින් බළඇණි කැඳවූ අතර සහකාර පොලිස් අධිකාරී චන්දන කොඩිතුවක්කු මහතා සහ කොට්ඨාස භාර පොලිස් අධිකාරී විජිත ඩී කොමසාරු මහතා ද එම ස්ථානයට පැමිණියහ.

උද්ඝෝෂකයන් පැවසුවේ තමන්ගේ ළිං ජලය අපවිත්‍ර වී ඇත්තේ ප්‍රදේශයේ ඇති කර්මාන්ත ශාලවකින් පිටවන දෑ නිසා යැයි උද්ඝෝෂකයන් පැවසූ විට පොලිසිය පැවසුවේ ඒ සඳහා දිසාපති හමුවී සාකච්ඡා කිරීමට අවස්ථාවක් සලසා දීමට කටයුතු කරන බවයි.

උද්ඝෝෂකයෝ ඊට එකඟ නොවූහ.

අනතුරුව පොලිසියේ පිරිසක් එම ආයතනයට පිටව ගිය අතර ඔවුන් නැවත පැමිණි පසුව පොලිසිය පැවසුවේ එම ආයතනය තාවකාලිකව වසා දැමීමට පියවර ගන්නා බවයි.

එම තීරණයත් සමග ගම්වාසීන් මාර්ගයෙන් ඉවත් වූහ.

එම කර්මාන්ත ශාලාව වසා දමා නැතැයි දහවල් එකට පමණ ලද තොරතුරක් අනුව නැවත වරක් ප්‍රදේශවාසීහු නව නුවර පාර අවහිර කරමින් රතුපස්වල හංදියේ උද්ඝෝෂනය කරන්නට වූහ.

  උද්ඝෝෂණයේ යෙදෙන්නන් අතරින් පස් දෙනකු පැමිණ පොලිසියට කට උත්තරයක් ලබා දෙන ලෙස පොලිසිය ඉල්ලීමක් කළ අතර උද්ඝෝෂකයන් පැවසුවේ තමන් පොලිසියට රැගෙන ගොස් රදවාගන්නට ඉඩ ඇති නිසා පොලිසියට පැමිණිය නොහැකි බවයි.

ඉන් පසු පොලිසිය හා උද්ඝෝෂකයන් අතර උණුසුම් තත්ත්වය හට ගත් අතර පොලිසිය බැණ වැදුණු බව කියමින් පිරිසක් පොලිසියට හූ තැබූහ.

එම ස්ථානයට ආ කොට්ඨාස භාර පොලිස් අධිකාරී විජිත ඩී කොමසාරු මහතා උද්ඝෝෂකයන් සමග බහින් බස් වූ පොලිස් නිලධාරීන් ඉවත් කළ අතර මේ ගැන අදාල බලධාරීන් දැනුම්වත් කරන බවට උද්ඝෝෂකයන්ට පොරොන්දු වීමෙන් පසු ඔවුහු විසිර ගියහ.

ඊයේ (28) උදේ 10ට රතුපස්වල ක්‍රීඩාංගනයට ගැමියෝ තුන් දහසක් පමණ එක් වූහ.

ඔවුන් පැවසුවේ පිරිසිදු පානීය ජලය භාවිත කිරීමට අයිතියක් ඇති නිසා තමන් එලෙස රැස් වූ බවයි. එම ස්ථානයට පැමිණ සිටි හල්ඔළුව ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරාධිපති තෙරි පැහැ සිරිධම්ම හිමියන් පැවසුවේ උසස් නිලධාරියකු  දුරකතනයෙන් අමතා තමන් වහන්සේ අත්අඩංගුවට ගන්නා බව පැවසූ බවයි.

එම අවස්ථාවේ උද්ඝෝෂකයන් පැවසුවේ ස්වාමීන්වහන්සේ අත්අඩංගුවට ගතහොත් තමන්ට පොලිසියට යන බවයි.

විරෝධතාවය අරඹා පැයකට පමණ පසු කොළඹ උතුර භාර නියෝජ්‍ය පොලිස්පති එල් ජී කුලරත්න, ගම්පහ කොට්ඨාස භාර පොලිස් අධිකාරී විජිත ඩී කොමසාරු, සහකාර පොලිස් අධිකාරී චන්දන කොඩිතුවක්කු මහත්වරු ඇතුළු උසස් පොලිස් නිලධාරීන් පිරිසක් එම ස්ථානයට ආහ.

විරෝධතාව මෙහෙයවමින් සිටි පිරිස් භිවත කළ මයික්‍රෆෝනය අතට ගත් නියෝජ්‍ය පොලිස්පති එල් ජී කුලරත්න මහතා පැවසුවේ මේ උද්ඝෝෂණයට කිසිදු දේශපාලනඥයකු සහභාගී නොවන බවයි.

‘ලිංවලින් වතුර සාම්පල රැගෙන පරීක්ෂණයට යැව්වා. සමාගම සමගත් කතා කළා. අද මෙතන ඉදලා වැඩක් නෑ. හවස් වෙනකම් හිටියත් කිසිම දේශපාලනඥයෙක් එන්නේ නෑ. දේශපාලනඥයන් ආවොත් වතුර බෝතල්වලින් ගහන්න ඉඩ තියන නිසා ඔවුන් එන්නේ නෑ. හෙට (සඳුදා) ගම්පහ දී බැසිල් රාජපක්ෂ ඇමතිතුමා ඒ ගැන සාකච්ඡාවක් පවත්වනවා. ගම  නියෝජනය කරමින් 50 දෙනකුට ඊට සහභාගී විය හැකියි.‘  යැයි ද නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.

ඔහුගේ කතාව අවසන් වෙත්ම උද්ඝෝෂකයෝ හූ කියන්නට වූහ. නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු පිරිස පිට්ටනියෙන් පිටව යනතුරුම ඔවුහු හූ තැබූහ.

අනතුරු කැරළි මර්දන පොලිස් බටයෝ කුළු සහ පොළු ද අතැතිව පිට්ටනිය වට කළහ. කිසිවකුට වතුර ගෙන ඒමටවත් නොහැකි වන පරිදි පොලිසිය පිට්ටනිය වටකරගෙන සිටීම නිසා උද්ඝෝෂකයෝ අපහසුතාවට පත් වූහ. විටින් විට අවස්ථා කිහිපයකදීම උද්ඝෝෂකයෝ පොලිසියට හූ තැබූහ.

ඉන් පසු විසඳුමක් ලැබෙන තෙක් නොනැගිටින බව පවසමින් රතුපස්වල ගල්ලොලුව විහාරාධිපති තෙරිපැහැ සිරිධම්ම හිමියෝ ආගමික වතාවත් සිදුකර පැදුරක් එළා බිම වාඩි වූහ.

ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතයෙන් පිරිස ඇමතූ සංවිධායකයකුට පොලිසිය පැවසුවේ ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතයට අවසර ගෙන නොමැති නිසා වහා එය නවත්වන ලෙසයි.

විරෝධතාවේ යෙදී සිටින නීතීඥ පාලිත සේනාතරත්න මහතා පැවසුවේ උසස් පොලිස් නිලධාරියෙක් තමාට තර්ජනය කළ බවයි. ගැමියන්ගේ ගැටළුවට විසඳුම් ලබා නොදී පොලිසිය ගැමියන් පීඩාවට පත් කරන බව ද ඔහු පැවසීය.

අනතුරුව වැටකින් අසළ නිවසකට ගිය උද්ඝෝෂකයන් පිරිසක් එහි සිට බටයක් ඇද පිරිසට බීමට ජලය සැපයූ අතර දර, වළං ආදිය ගෙනැවිත් බත් සහ පරිප්පු උයා මඤ්ඤොකා තම්බා කෑහ.

පස්වරු පහ වට විටත් සත්‍යග්‍රහයේ නිරත ස්වාමීන්වහන්සේ පිට්ටනියේ සිටින නිසා උද්ඝෝෂකයෝ පිටව නොගිය අතර පොලිසිය ද පසෙකට වී සිටියහ.