ළමයාගේ සූත්තරේ වරදී


 රුපියල්  විසි ලක්ෂයක් වටිනා විදේශීය සිගරට් තොගයක්  සහ සුවද විලවුන් ආලේපන තොගයක් රැගෙන ඩුබායි සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකික කාන්තාවක්  කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අද   අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක රේගු නිවාරණ අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා පැවසූවේය.

සැකකාරිය හතලිස් හැවිරිදි වියේ පසුවන කොළඹ මරදාන ප්‍රදේශයේ පදිංචිකාරියකි. ඇය  මෙම සිගරට් තොගය සහිත ගමන් මළු ට්‍රොලියක තබා ගමන් මළු නොපෙනෙන ලෙස එය උඩින් තම දොලොස් හැවිරිදි දරුවා තබා ට්‍රොලිය තල්ලූ කරගෙන පැමිණි බව රේගුව කියයි.

අත් අඩංගුවට ගනු ලැබූ සිගරට් ප‍්‍රමාණය හැට දහසක් වන අතර එහි වටිනාකම රුපියල් පහලොස් ලක්ෂයකි.  සුවද විලවුන් සහ ආලේපන වල  වටිනාකම රුපියල් ලක්ෂ පහකි.

රේගු නිලධාරීන් පවසන්නේ සැකකාරිය  මැද පෙරදිග රැකියා සඳහා ගොස් පැමිණෙන්නන් සඳහා ගුවන්තොටුපොළේ  ලබා දී ඇති සහනයන් ප‍්‍රයෝජනයට ගෙන රේගු නිලධාරීන්ගේ ඇස් වැසීමට  සූක්ෂමව ක‍්‍රියා කර ඇතත්  සහකාර රේගු අධිකාරී තනුෂ්ක විජේසුරිය මහතා   විසින් ඇය පරීක්ෂා කරද්දී  ගමන් මළුවල තිබී සිගරට් සහ සුවඳ විලවුන්  තොගය සොයා ගත් බවයි.

සැකකාරිය  මීට දින කිහිපයකට පෙර  මෙරට සිට ඩුබායි වෙත ගොස් ඇති අතර ඇය  අද මිහින් ලංකා ගුවන් සේවයට අයත් ගුවන්යානයකින්   යළි මෙරටට  පැමිණ ඇත්තේ මැද පෙරදිග වසර ගනනාවක් සේවය කර පැමිනෙන්නියක්  ලෙස රේගුවට අගවමිනි.

මේ පිළිබඳ විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ උපදෙස් පිට රේගු අධිකාරීවරුන් වන  රෝහණ සේනාධීර, ඉන්ද්‍රා උක්වත්ත සහ සහකාර රේගු අධිකාරී තනුෂ්ක විජේසූරිය යන නිලධාරීහු සිදු කරති.