හොරෙක් පිංකම් කරයි


රාත්‍රී කාලයේ වෙළෙඳසල් 20ක් පමණ බිඳ රුපියල් කෝටි එක හමාරක පමණ මුදල් පැහැරගත් බවට සැකපිට බක්මීවැව නාගොල්ලාගම තරුණයෙක් (25)  සහ කුරුණෑගල ත්‍රීරෝද රථ රියදුරෙක් (40) රුපියල් ලක්ෂ තිහක පමණ මෝටර් රථයක් ද සමග ගම්පහ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අද (9) අත්අඩංගුවට ගනු ලැබූහ.

නාගොල්ලාගම තරුණයා සීදුවේ තාවකාලිව පදිංචිව සිටිමින් කෑගල්ල, මහනුවර, ගම්පහ, කුරුණෑගල, ගිරිඋල්ල, පොල්ගහවෙල, කුලියාපිටිය ඇතුළු ප්‍රදේශ ගණනාවක වෙළෙඳසල් බිඳ ඇතැයි පොලිසිය කියයි. සැකකරු කුලියාපිටියේ තැපැල් කාර්යාලයක් බිද මුදල් පැහැරගෙන ඇති බවට පොලිසියට තොරතරු ලැබී තිබේ.

ගම්පහ බෞද්ධාලෝක මාවතේ සැකකටයුතු අයුරින් රැඳී සිටියදී සැකකරු පරීක්ෂා කළ පොලිස් නිලධාරීනට ඔහු සතුව තිබූ නියනක් සහ උල් කටුවක් හමුවී ඇත.

ඒ ගැන සැක සිතී අත්අඩංගුවට ගෙන දිගින් දිගටම ප්‍රශ්න කරද්දී කොල්ලකෑම් 20ක තොරතුරු අනාවරණය කළ බව පොලිස් ආරංචි කියයි.

සැකකරු වෙළෙඳසල් බිඳ    මුදල් පමණක්  සොරාගෙන ඇති බවත්, ඔහු එකවරකදී සොරා ගත් වැඩිම මුදල ලක්ෂ 36ක් බවත්, එය සොරා ගෙන ඇත්තේ කෑගල්ලේ වෙළෙඳසලකින් බවත් අනාවරණය වී ඇත.

ත්‍රීරෝද රථ රියදුරු කොල්ලකෑම් සදහා ඔත්ත බලා ඇති බවත් පොලිසිය සඳහන් කරයි.

සොරකම් කරන ලද මුදලෙන් ලක්ෂ 30ක පමණ මෝටර් රථයක් මිලදී ගෙන ඇති සැකකරු ළමා නිවාස, වැඩිහිටි නිවාස, පන්සල් ආදියට ඉතිරි මුදල් වියදම් කර ඇතැයි කියති.

සැකකරු තවත් අපරාධවලට සම්බන්ධදැයි ගම්පහ කොට්ඨාස භාර පොලිස් අධිකාරී විජිත ඩී කොමසාරු, පොලිස් අධිකාරී 1 රංජිත් මාසිංහ මහත්වරුන්ගේ අධීක්ෂණයෙන් ගම්පහ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක රත්නායක බණ්ඩාර මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආර්.ඩබ්ලිව්.එම්..එස්. රාජකරුණා, පොලිස් සැරයන් 4645 සුනිල්, 9840 ගුණසිංහ, 52478 ආරියපාල සහ පොලිස් කොස්තාපල් 31893 බණ්ඩාර මහත්වරු විමර්ශන පවත්වති.