(විනීතා එම් ගමගේ)
හතලිස් අට හැවිරිදි වියේ බව සඳහන් ව්‍යාජ ලියකියවිලි සකසා පනස් අට හැවිරිදි කාන්තාවක් කටාර් රාජ්‍යයේ රැකියාවට යාමේ පුවතක් හෙළි කර ගැනීමට ශ‍්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විමර්ශන ඒකකය සමත් වී තිබේ.
පළමුවරට විදේශ රැකියා සඳහා යන කාන්තාවන් වයස අවුරුදු 50 ට අඩුවිය යුතු යැයි කාර්යංශයෙන් පනවා ඇති නීතිය හේතුවෙන් ඇය මෙසේ ව්‍යාජ ලියකියවිලි සකසා විදේශ ගත වන්නට ඇතැයි කාර්යංශය සැක කරයි. ඇය විදේශ ගත වී ඇත්තේ වෙනත් නමකින් යුතු ගමන් බලපත‍්‍රයකින් බවත් මේ වන විට කාර්යංශය හෙළි කරගෙන ඇත.
ඇය මෙසේ ව්‍යාජ ලියකියවිලි සකසා 2011 වසරේ විදේශ ගත වී ඇති අතර මේ වන විට ඇගේ සැබෑ වයස අවුරුදු හැට හතරකි.
ගලේවෙල බඹරගස්වැව පදිංචිකාරියක වන මෙම කාන්තාව කටාර් හි රැකියාවට ගොස් සිටින අතරතුර ඇගේ හාම්පුතා සවුදියේ නිවාඩුවක් ගත කිරීමට යෑමේදී ඇයද කැඳවාගෙන ගොස් ඇති අතර එරට දී ඇය පැනගොස් ඇත.
මේ පිළිබඳව ඇගේ හාම්පුතා සෞදි අරාබියේ අල් අහ්සා පොලිසියේ පැමිණිල්ලක් ද ගොනු කර ඇත. අනතුරුව ඔහු යළි කටාර් වෙත පැමිණි පසු ඇගේ ගමන් බලපත‍්‍රය කටාර් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට භාර දී තිබේ.
ඒ අනුව මෙම කාන්තාව කිසිදු නීත්‍යානුකූල ලියකියවිල්ලක් නැතිව එරට රැදී සිටින බව කාර්යංශය කියයි. ඇය එරට රැදී සිටිතැයි කියන කාලසීමාව තුළ සවුදියේ පොදු සමා අවස්ථා දෙකක් දුන් නමුත් මෙම කාන්තාව එම අවස්ථා ප‍්‍රයෝජනයට නොගත් බව ඇය පිළීබඳ කළ පරික්ෂණ වලින් පෙනී යන්නේ යැයි විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
ඇය පිළිබඳ සොයා බැලීමට කාර්යංශය පෙළඹී ඇත්තේ ‘‘කටාර් ගොස් වසර හයයි, තවම තොරතුරක් නැහැ’’ මැයෙන් පුවත්පත්වල ඇය ගැන පළවු ප‍්‍රවෘත්තියකින් පසුව තොරතුරු සෙවීමේ දී යැයි ද එම නිලධාරියා සඳහන් කළේය.
සවුදි තානාපති කාර්යාලය ඇය පිළිබඳ විමසිල්ලෙන් සිටින බවත් ඇය පිළිබඳ යම් තොරතුරක් සොයා ගැනීමට ඔවුන් උත්සාහ දරන බවද එම නිලධාරියා සඳහන් කළේය.

