(විනීතා එම් ගමගේ)
සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයින්ට දේපල ණය ලබා ගැනීමේ දී අවශ්‍යවන ඉඩම් ඔප්පු සඳහා හොර ඔප්පු සකස් කර ණය අනුමත කරවා දුන් කම්කරු නිලධාරියකු පිළිබඳව බටහිර කොළඹ සහකාර කම්කරු කොමසාරිස්වරයා වෙත පැමිණිලි ලැබී ඇත.
මේ සඳහා මෙම නිලධාරියා ණය ලබා ගන්නා එක් පුද්ගලයකුගෙන් රුපියල් 25000 ක් බැගින් ලබා ගෙන ඇතැයි අනාවරණය වී තිබේ.
ඒ සඳහා අදාළ නිලධාරින්ගේ අත්සන් ව්‍යාජ ලෙස යොදාගෙන ඇති බවත් බටහිර කොළඹ කම්කරු නිලධාරි කාර්යාලයේ කිසිදු නිලධාරියකු ඊට සම්බන්ධ නැති බවත් හෙළි වී ඇතැයි කියැවේ.
අර්ථසාධක අරමුදල ඇපයට තබා ගනිමින් එහි ශේෂයෙන් 75%කට සමාන මුදලක් නිවාස අවශ්‍යතා සපුරා ගැනිම සඳහා වාණිජ බැංකුවලින් සාමාජිකයින්ට ලබාගත හැකි අතර ඒ සඳහා අදාළ දේපල හෙළි කළ යුතුය. එසේ දේපලක් පෙන්විය නොහැකි අයට මෙම නිලධාරියා ව්‍යාජ ඔප්පු සකස්කර දෙන බවත් පැවැසේ.
සාමාන්‍ය ක‍්‍රමයේ දී අදාල දේපල බැලීමට කම්කරු නිලධාරියකු යන නමුත් මෙකී ණය අයදුම්පත් හිමියන්ගේ දේපල බැලීම සඳහා ගොස් ඇත්තේ මෙම නිලධාරියා විසින් ම බවත් හෙළි වී ඇතැයි කම්කරු දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
කෙසේ වෙතත් මේ වනවිට මෙසේ සකස් කළ ව්‍යාජ ලිපිගොනු දෙකක් පිළිබඳ පැමිණිලි සහකාර කම්කරු කොමසාරිස්වරයා වෙත ලැබී ඇති බවත් එම ලිපිගොනු වැඩිදුර පරික්ෂණ සඳහා රහස් පොලිසිය වෙත බාරදීමට කටයුතු කරමින් ඇති බවත් එම නිලධාරියා තවදුරටත් පැවසීය.

