හෙලිකොප්ටර් දෙකක් එකිනෙක හැපිලා


බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ නගරයට ඉහළින් හෙලිකොප්ටර් යානා දෙකක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුවිය. අනතුරින් මියගිය ගණන 6 කි. එක් හෙලිකොප්ටරයක පස් දෙනකු සිටි අතර අනෙක් හෙලිකොප්ටරයේ වූයේ එහි නියමුවා පමණි.

අනතුර සිදුවූයේ උදෑසන 9 ට පමණි. මියගිය පිරිස අතරේ ප්‍රකට ඇමෙරිකන් පොප් ගායක 32 හැවිරිදි ඔලිවර් ට්‍රී ජීවිතක්ෂයට පත්වුණු බව ද වාර්තා වේ. 

ඊට අමතරව ආජන්ටිනාවේ ජනප්‍රිය යූ ටියුබ් ක්‍රියාකාරියකු වන ගැස්පි ද අනතුරින් මියගිය බව මාධ්‍ය තහවුරු කර ඇත.

ඔලිවර් ට්‍රී බ්‍රසීලයට පැමිණ ඇත්තේ ඔහුගේ නවතම සංගීත ඇල්බමය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් යැයි ද පැවැසෙයි.

අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නැත. ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව බ්‍රසීල බලධාරීහු පවසති.

අනතුර සිදුවුණු බව පැවැසෙන්නේ, බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ නගරයේ රෙක්‍රෙයියෝ දොස් බන්ඩෙයිරන්තේස් පළාතට ඉහළිනි. යානාවල සුන්බුන් පහළ බී.වයි.ඩී. විදුලි මෝටර් රථ සඳහා වෙන් වුණු රථ ගාලකට පතිත විය. 

රථ ගාලේ ගින්නක් හටගත් අතර, ගිනි නිවන හමුදා වහා මැදිහත් වී ගින්න නිවා දැමීය. රථ ගාලේ ගාල් කර තිබුණු විදුලි මෝටර් 20 ක් පමණ ගින්නට හසුවී විනාශ වූ බව ද පැවැසෙයි.