හූවෙන් පස්සේ උද්ඝෝෂකයෝ කොටුවෙති


වැලිවේරිය රතුපස්වල පිට්ටනියේ සාමකාමීව උද්ඝෝෂණයේ නිරතවෙමින් සිටින තමනට පිට්ටනියෙන් එළියට පැමිණිය නොහැකි ලෙස පොලිස් රැකවල් දමා ඇතැයි උද්ඝෝෂකයෝ කියති.

උද්ඝෝෂකයන් සිටි පැත්තෙන් ඇතිවූ හූවෙන් පසුව පොලිසිය මේ පියවර ගෙන ඇතැයි ගැමියෝ කියති.

විසඳුමක් ලැබෙන තෙක් නොනැගිටින බව පවසමින් රතුපස්වල ගල්ලොලුව විහාරාධිපති තෙරිපැහැ සිරිධම්ම හිමියෝ ආගමික වතාවත් සිදුකර පැදුරක් එළා බිම වාඩි වූහ.

පැමිණි පිරිසට බීමට ජලය සපයා ගැනීමට හෝ එළියට යා නොහැකි වන අයුරින් පොලිස් කැරළිමර්දන භටයෝ රැකවල් දමාගෙන සිටිති.

 ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතයෙන් පිරිස ඇමතූ සංවිධායකයකුට පොලිසිය පැවසුවේ ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතයට අවසර ගෙන නොමැති නිසා වහා එය නවත්වන ලෙසයි.

විරෝධතාවේ යෙදී සිටින නීතීඥ පාලිත සේනාතරත්න මහතා පැවසුවේ උසස් පොලිස් නිලධාරියෙක් තමාට තර්ජනය කළ බවයි. ගැමියන්ගේ ගැටළුවට විසඳුම් ලබා නොදී පොලිසිය ගැමියන් පීඩාවට පත් කරන බව ද ඔහු පැවසීය.

මේ ගැන විමසීමට පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන මහතා සම්බන්ධ කර ගැනීමට ගත් උත්සාහය අසාර්ථක විය.