හියාරේ කිඹුල් තිඹිරි ගෙයක්


බේරුවල කළුවාමෝදර ගගේ මල්ලබොක්ක පාලම යටින් පසුගිය අගෝස්තු 14 දා සොයාගත් කිඹුල් බිත්තර 32 න් දැනට කිඹුල් පැටවුන් 18 දෙනකු උපත ලබා ඇතැයි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. ගැට කිඹුල් විශේෂයට අයත් මේ පැටවුන් උපත ලබා ඇත්තේ ගාල්ල හියාරේ ජෛව විවිධත්ව කේන්ද්‍රයේ පිහිටි ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමයේ පරීක්ෂණාගාරයේ දී ය. ඩයිනෝසර් යුගයේ සිට පැවත එන ගැට කිඹුලා ලොව විශාලතම උරග විශේෂයයි. එවැනි සත්ත්ව විශේෂයක් මෙරට විද්‍යාගාරයකදී උපත ලද ප්‍රථම අවස්ථාව ද මෙයයි.

කිඹු‍ලියක් සාමාන්‍ය පරිසරයේ දී සාදන කූඩුවකට සමානව ගිරා පලා, බෙරු තණ, කැරම් කොකු වැනි ශාකවල අමු කොටස් යොදා කූඩුවක් තැනූ වනජීවී සංරක්ෂණ සංගමයේ පර්යේෂකයෝ කිඹුලියක් එවැනි කූඩුවකට වතුර යොදමින් උෂ්ණත්වය ආරක්ෂා කරන ආකාරයෙන් ම බිත්තර වලට සුදුසු උෂ්ණත්වයක් ලබා දෙමින් බිත්තර ‍මෝරා වැඩෙන්නට ඉඩ සැලසූහ.

දැන් බිත්තර වලින් පැටවු 18 දෙනකු බිහිවී සිටිති. බිත්තර හතරක් නරක් වී ඇති බවත් තවත් 10 න් තවමත් පැටවුන් බිහිනොවූ බවත් වනජීවී සංරක්ෂණ සංගමයේ සභාපති මධුර ද සිල්වා මහතා පවසයි.

උපත ලැබූ පැටවුන්ගේ සාමාන්‍ය බර ග්‍රෑම් 65කි. දිග සෙන්ටිමීටර 26කි.

මධුර ද සිල්වා මහතා මෙසේ පවසයි.

'' හික්කඩුව වනජීවී කාර්යාලයේ මග පෙන්වීම හා උපදෙස් මත මේ බිත්තර ආරක්ෂා කළා. දැන් එහි සාර්ථක ප්‍රතිඵල ලැබී තිබෙනවා. අපි කලින් ගැට කිඹුලන්ගේ කූඩු පිළිබ
ද අධ්‍යයනයක් කැර තිබූ නිසා ඒ ඒ අවස්ථාවලදී ලබාගත් දත්ත හා තොරතුරු ඉතාමත් වැදගත් වුණා. මේ පැටවුන් සුදුසු ස්වභාවික පරිසරයකට මුදා හැරීමට දැන් හිකියාව තිබෙනවා. "

ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමයේ මධුර ද සිල්වා, සිසිර දර්ශන, රොහාන් පඩියප්පෙරුම, සම්පත් උඩුගම්පොළ ප්‍රමුඛ සාමාජිකයෝ දිවා රෑ නොබලා මේ කාර්යය සාර්ථක කැර ගැනීමට වෙහෙසුනහ.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ හික්කඩුව උද්‍යානයේ අඩවි වන පාලක අසංග ගුණවර්ධන මහතා පවසන්නේ ඉතාමත් නුදුරු දිනයක මේ කිඹුල් පැටවුන් මිනිසුන් නොමැති සුදුසු ස්ථානයකට මුදා හැරීමට කටයුතු කරන බවයි.