හිටපු මහේස්ත්‍රාත්වරයකු ඇතුළු සිව් දෙනෙකුට එරෙහි නඩුව නොවැ. 6 සිට විභාගයට


(මනෝප‍්‍රිය ගුණසේකර)

බලපත‍්‍රයක් නොමැතිව අලි පැටවකු ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් වැඩ තහනමකට ලක්වී සිටින කොළඹ හිටපු අතිරේක මහෙස්ත‍්‍රාත් තිළිණ ගමගේ මහතා ඇතුළු විත්තිකරුවන් සිව්දෙනාට එරෙහි නඩුව ලබන නොවැම්බර් මස 6 වැනිදා සිට විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද (4) තීරණය කළේය.

මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගනිමින් එලෙස තීරණය කළ විනිසුරුවරයා එදින අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් පැමිණිල්ලේ සාක්කිකරුවන්ට සිතාසි නිකුත් කළේය.

මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී වැඩතහනමකට ලක්වී සිටින හිටපු මහෙස්ත‍්‍රාත් තිළිණ ගමගේ මහතා ඇතුළු විත්තිකරුවන් සිව්දෙනා අධිකරණයේ පෙනී සිටියහ.

නීතීපති, ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතාගේ උපදෙස් මත විත්තිකරුවන්ට එරෙහිව මෙලෙස නඩු පවරනු ලැබීය.

2008 නොවැම්බර් 06 වැනිදාත් 2015 මැයි 18 වැනිදාත් අතර කාලයේ මීගොඩ ගොඩගමුවේදී නිසි බලපත‍්‍රයක් නොමැතිව පොදු දේපලක් වන අලියකු ළඟ තබා ගැනීම සඳහා කුමන්ත‍්‍රණය කිරීම, ඒ අනුව වනයෙන් අල්ලා ගන්නා ලද ‘සකුරා’ වශයෙන් හඳුන්වනු ලැබු අලි පැටවකු ළඟ තබා ගැනීම ඒ සඳහා ආධාර අනුබලදීම ඇතුළු චෝදනා 25ක් යටතේ විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා විසින් නඩු පවරා ඇත.

විත්තිකරුවන්ට එරෙහි චෝදනා ඔප්පු කිරීම සඳහා පැමිණිල්ල වෙනුවෙන් සාක්කිකරුවන් 25 දෙනෙකු හා ලේඛන 8 ක් ඉදිරිපත් කිරීමට අපේක්‍ෂා කරන බව නීතීපතිවරයා අධිකරණයට දැනුම් දී ඇත.

වනජීවී ඇමැති වසන්ත සේනානායක මහතා විසින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමෙන්තුවට කරන ලද පැමිණිල්ලකට අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කරන ලදී.

වැඩතහනමකට ලක්වී සිටින හිටපු මහෙස්ත‍්‍රාත් තිළිණ ගමගේ මහතාට අමතරව මෙලෙස චෝදනා ලැබ සිටින්නේ වනජීවී දෙපාර්තමේන්තුවේ අලි ඇතුන් ලියාපදිංචි අංශය බාරව සිටි ලිපිකාරිණීයක වන එච්. පි‍්‍රයංකා සංජීවනී, වනජීවී දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්‍ෂ (නීතී) පැස්කුවල් ෆොන්සේකාලාගේ උපාලි පද්මසිරි නමැත්තන්ය.

මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගනිමින් මෙම නඩුව ලබන නොවැම්බර් 6 වැනිදා සිට විභාග කිරීමට තීරණය කළ විනිසුරුවරයා එදින අධිකරණයේ පෙනී සිටින ලෙස විත්තිකරුවන්ට නියම කළේය.