හිටපු දැව සංස්ථා සභාපති-ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානී නඩු තීන්දුව19


( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
 
හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ආචාර්ය අයි. එච් .කේ. මහනාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක යන මහත්වරුන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකළ නඩුවේ තීන්දුව ලබන 19 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද (04) දින තීන්දු  කරන ලදී.
 
සම්පත් අභයකෝන්, සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය කළේය.
 
දීර්ඝ සාක්ෂි විභාගයකින් සහ වාචික කරුණු දැක්වීමකින් අනතුරුව නඩු විභාගය අවසන් කිරීමෙන් පසුවයි ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල එහි තීන්දුව ප්‍රකාශ කිරීම සඳහා දින නියම කරන ලදී.
 
කන්තලේ සීනි සමාගමට අයත් අබලි යකඩ කොටස් හා ගොඩනැගිලි පවරා දීමේ කටයුතු ඉටු කිරීම සඳහා ඉන්දියානු ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 54 ක අල්ලසක් ඉල්ලා ඉන් රුපියල් මිලියන 20 ක මුදලක් ලබාගත් බවට මෙම හිටපු නිලධාරින් දෙදෙනාට චෝදනා කරමින් මෙම නඩු පවරා තිබිණි.
 

2018 වසරේ මැයි මස නව වන දා හෝ ඊට ආසන්න දිනයක කන්තලේ සීනි සමාගමට අයත් අබලි ද්‍රව්‍ය විකිණීමට අදාළ කටයුතු ඉටුකර දීම සඳහා ඉන්දියානු ව්‍යාපාරිකයෙකු කේ. නාගරාජ මහතා ගෙන්   රුපියල් මිලියන 54 ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ඉන් රුපියල් මිලියන 20 ක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගැනීමේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ආචාර්ය අයි. එච් .කේ මහනාම සහ  රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක යන අය අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.
 
 ඒ අනුව චෝදනා 24 ක් අල්ලස් කොමිසම විසින් විත්තිකරුවන්ට එරෙහිව ගොනු කර ඇති අතර එහි සාක්ෂිකරුවන් ලෙස  පුද්ගලයන් 46 දෙනෙකු නමිකර තිබූණි.