(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ගොඩක් මිනිස්සුන්ට පැත්තකින් ඉදන් සහයෝගය දෙනවා යැයි කියන්න පුළුවන් වුනත් වගකීමක් ගන්න පුලුවන් කොන්දක් තියෙන එවුන්ට විතරක් යැයි සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
රටේ ප්‍රශ්නයක් වෙලා තිබෙන වෙලාවක, කන්න නැතිව ඉන්න වෙලාවක පටු අරමුණු සමඟ නොසිටිය යුතු බවත් රට වෙනුවෙන් වගකීමක් ගත යුතු බවත් කී අමාත්‍යවරයා පැත්තක ඉදන් අපි සහයෝගය දෙනවා, බයවෙන්න එපා කියා කකුලෙන් අදින හිකනැල් වැඩ කරන්න එපා යැයි විපක්ෂයට පවසන බවද සඳහන් කළේය.
"යම්කිසි මිනිහෙකුට කියන්න පුලුවන් ජීවිතේට මම සහයෝගය දෙනවා කියලා. ඒත් සහයෝගය දෙනවා කියන එකයි වගකීම් ගන්නවා කියන එකයි දෙකක්. ඒ වෙනස තමයි මේ පාර්ලිමේන්තුව ඉල්ලන්නේ යනුවෙන් ද හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.
හර්ෂ ද සිල්වා මන්ත්‍රීතුමා කියපු ඒ කරුණට අපි එකඟ වෙනවා. ගොඩක් අයට පිළිගන්න අකමැති වුණත් මේක නිර්පාක්ෂික ආණ්ඩුවක්. මේ නිර්පාක්ෂික ආණ්ඩුව ඇතුලේ අලුත් කමිටු සිස්ටම් එකක් හදන්න තීරණය කළා. ඒ තීරණය අනුව තමයි හර්ෂ ද සිල්වා මහතාගේ නම යෝජනා වුණේ. අදටත් එතුමාගේ නම කොතනකින්වත් ඉවත් කරලාවත්, කමිටුවට දාන්නවත් තීරණය කරලා නෑ.
වගකීමෙන් එක දෙයක් කියනවා. ගොඩක් මිනිස්සුන්ට පුලුවන් පැත්තකින් ඉදන් කියන්න අපි සහායෝගය දෙනවා කියලා. ඒත් කොන්දක් තියෙන එවුන්ට විතරයි වගකීමක් ගන්න පුලුවන්. මේ රටේ ප්‍රශ්නයක් වෙලා තිබෙන වෙලාවක, කන්න නැතිව ඉන්න වෙලාවක මේ කියන පටු අරමුණුත් එක්ක නෙවෙයි ඉන්න ඕන. රට වෙනුවෙන් වගකීමක් ගන්න එක කරන්න ඕන. යම්කිසි මිනිහෙකුට කියන්න පුලුවන් ජීවිතේට මම සහයෝගය දෙනවා කියලා. ඒත් සහයෝගය දෙනවා කියන එකයි වගකීම් ගන්නවා කියන එකයි දෙකක්. ඒ වෙනස තමයි මේ පාර්ලිමේන්තුව ඉල්ලන්නේ. නිකන් පැත්තක ඉදන් අපි සහයෝගය දෙනවා, බයවෙන්න එපා කියලා කකුලෙන් අදින හිකනැල් වැඩ කරන්න එපා කියලා විපක්ෂයට අපි කියනවා.
ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා:-
මට කොන්දක් තියෙනවා. මම ඒ තීරණය ගත්තේ කොන්ද පාවිච්චි කරලා තමයි. ප්‍රතිපත්තියක් අනුව තමයි මම වැඩ කරන්නේ. හරීන් ප්‍රනාන්දු මහතා මගේ හොඳ මිත්‍රයා. එතුමා සමග මට කිසිදු ගැටලුවක් නෑ. එතුමා වෙනම තීරණයක් ගත්තා, අපි වෙනම තීරණයක් ගත්තා. මේවා පෞද්ගලික තීරණ. ඒත් අපි බලාපොරොත්තු වෙන්නේ නිර්පාක්ෂික ආණ්ඩුවක් නෙවෙයි, සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදමු. මම සියලු දෙනාගෙන් ආයාචනා කරනවා අපි එතනට යමු කියලා.