හමුදා භටයන් 38ක් රැගත් චිලී යානයක් අතුරුදන්


ඇන්ටාක්ටිකාව බලා පියාසර කරමින් තිබූ චිලි දේශයට අයත් හමුදා භටයන් 38 දෙනකු රැගත් ගුවන් යානයක් අතුරුදන් වී ඇත.

සී-130 හර්කියුලස් වර්ගයේ ප්‍රවාහන ගුවන් යානයක් වන මෙය චිලි රටේ පුන්ටා අරිනාස් වෙතින් ගුවන් ගතවී තිබේ.

මෙහි මගීන් 21දෙනකු සහ කාර්ය මණ්ඩලයේ 17දෙනකු ගමන් කර ඇත.

මොවුන් හමුදා සාමාජිකයන් වන අතර තවත් වාර්තාවක දැක්වෙන්නේ සිවිල් වැසියන් තිදෙනකු ද යානයේ සිටි බවයි.

යානය ඇන්ටාක්ටිකාවේ කිං ජෝර්ජ් දිවයිනේ පිහිටි කඳවුරක් වෙත පියාසර කරමින් තිබී ඇත.

යානය අතුරුදන්වීම ගැන තමා කනගාටුවට පත්ව ඇති බවත් අගනුවර වන සන්තියාගෝ සිට තත්ත්වය නිරීක්ෂණය කරමින් සිටින බවත් චිලී ජනාධිපති සෙබස්තියන් පිනේරා මහතා පවසයි.

ප්‍රදේශයේ ක්‍රියාත්මක වන සියලුම ස්වදේශීය හා විදේශීය ගුවන් හා නාවුක මාධ්‍යයන් සෙවීම් කටයුතු සඳහා සහාය කරගන්නා බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කර ඇත.

(බීබීසී ඇසුරිණි - 085)