හම්බෙගමුව රෝහල වසාදැමීමෙන් රෝගීන් අමාරුවේ


(අජිත්ලාල් ශාන්තඋදය සහ මහින්ද අබේරත්න)
 
සේවයේ නියුතු වෛද්‍යවරු දෙදෙනා මොණරාගල ප‍්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ කාර්යාලයේ රාජකාරියට කැඳවීම නිසා  හම්බෙගමුව රජයේ රෝහල අද (03) පෙරවරුවේ සිට වසා දමා ඇතැයි සායන සහ බාහිර රෝගී අංශයෙන් ප‍්‍රතිකාර ලබා ගැනීමට පැමිණි රෝගීහු කියති.

රෝගීන් විශාල පිරිසක් ප‍්‍රතිකාර සඳහා පැමිණ සිටියදී රාජකාරී හේතු මත වෛද්‍යවරු දෙදෙනා දහවල් 11.00ට පමණ මොරණරාගල ප‍්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ කාර්යාලයේ රාජකාරියට වාර්තා කිරීමට රෝහලෙන් පිටව ගියහ. රැස්ව සිටි පිරිස මුලින් ඔවුන් දෙදෙනාට පිටව යාමට ඉඩ නොදී සිටියහ.

හම්බෙගමුව ප‍්‍රාදේශීය රෝහල ඌව පළාත් සභාව මගින් පාලනය කෙරේ. වෛද්‍යවරු තිදෙනෙක් එහි සේවය කරන අතර, සේවය කළ වෛද්‍යවරු තිදෙනාගෙන් එක් වෛද්‍යවරියක් මීට දින කිහිපයකට පෙර ස්ථාන මාරුවක් ලබාගෙන පිටව ගොස් ඇති බව රෝහල් කාර්ය මණ්ඩලය කියයි.

අනෙක් වෛද්‍යවරු දෙදෙනා පවසන්නේ වෛද්‍යවරියගේ ස්ථානමාරුවෙන් පසු තමන් දෙදෙනාට ද අද (03) මොණරාගල නියෝජ්‍ය පළාත් සෞඛ්‍ය සේවා කාර්යාලයට රාජකාරිය සඳහා  කැඳවීමක් කර ඇති බවයි. ඉහළ නිලධාරින්ගේ උපදෙස් පිළිපැදිය යුතු නිසා තමන් දෙදෙනා එහි යායුතුව ඇති බවද ඔවුහු කීහ.

ස්ථානමාරුවීම ලැබූ වෛද්‍යවරිය ක‍්‍රමවේදයෙන් බැහැරව එය ලබා ඇති බව දැනගන්නට ඇතැයි රෝහල් කාර්ය මණ්ඩලය කියයි. වාට්ටුවල ප‍්‍රතිකාර මෙන්ම, සායන සහ බාහිර රෝගී අංශවල ප‍්‍රතිකාර ලබාදීම පැමිණෙන රෝගීන්ගේ ප‍්‍රමාණය අනුව වෛද්‍යවරු දෙදෙනෙකුට පමණක් ප්‍රතිකාර කිරීහ නොහැකි නිසා තවත් එක් වෛද්‍යවරයෙකුගේ සේවය ලබාගැනීම කළ යුතුව ඇති බවද කාර්ය මණ්ඩලය කියයි.

මේ වනවිට වාට්ටුවලට රෝගීන් ඇතුල් කිරීම ද නවතා දමා තිබේ. අද (03) වනවිට වාට්ටුවල එකදු රෝගියෙක් හෝ නොවීය.

හබ්බෙගමුව, කලවැල්ගල, අරඹෙකෙම, අඟුනකොළපැලැස්ස, හම්බෙගමුව ජනපදය, දහයියාගල, කොටවෙහෙර මංකඩ, ලගිනගල, කහකුරුල්ලන්පැලැස්ස, මයිලවෙල, බලහරුව,  අලූත්වැව, රතඹලාගම, මහවැව ආදී ගම්වල ජනතාවට ප‍්‍රතිකාර සඳහා ආසන්නම රෝහල හමුබෙගමුව ප‍්‍රාදේශීය රෝහල බවද, හම්බෙගමුව ප‍්‍රාදේශීය රෝහලේ සිට ආසන්නම ප‍්‍රාදේශීය රෝහල වූ තණමල්විල ප‍්‍රාදේශීය රෝහලට කිලෝමීටර් තිහකට වැඩි දුරක් ඇති බවද රෝගීහු කියති.

මෙම රෝහලින් දිනපතා ප‍්‍රතිකාර ගැනීමට තමන් පැමිණෙන බවත්, මාසයකට වරක් සායන මගින් නිකුත් කරන බෙහෙත් ලබා නොදීමෙන් තමන් දැඩි අපහසුතාවට පත්ව සිටින බවත් තමන්ට බෙහෙත් දී පරිපාලන ගැටලූ විසඳා ගන්නැයිද ඔවුහු ඉල්ලා සිටිති.
 
මේ සම්බන්‍ධයෙන් මොණරාගල ප‍්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂක කාර්යාලයෙන් විමසූ විට එහි ප‍්‍රකාශකයෙකු පැවසුවේ වෛද්‍යවරියගේ ස්ථාන මාරුව ඉහළින් කළ දැනුම්දීමක් මත කර ඇති බැවින් ඒ ගැන වැඩියමක් කිව නොහැකි බවයි.