හම්බන්තොට වෛද්‍යවරු වැඩ වරති


(සනත් ගමගේ සහ චන්ද්‍රසේන ගමගේ)

ස්ථිර දිස්ත්‍රික් සෞඛ්‍යසේවා අධ්‍යක්ෂවරයකු කඩිනමින් හම්බන්තොට දිස්ත්‍රික්කයට පත් කරන ලෙස ඉල්ලා එම දිස්ත්‍රික්කයේ සියළුම ‍රජයේ රෝහල් හා සෞඛ්‍ය සේවා ආයතනවල වෛද්‍යවරුන් අද (20) වැඩ වර්ජනයක නිරතව සිටින බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලේකම් වෛද්‍ය අනුර ජයසේකර මහතා කීය.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ දැනට වැඩ බලන දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාගේ අත්තනෝමතික ක්‍රියා කලාපයට විරෝධය පලකරමින් ද මෙම වැඩ වර්ජනය කරන බව ඒ මහතා පැවසීය.

මේ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගෙන් පවා ඉල්ලීම් කර ඇති බවද ජයසේකර මහතා කීය.
වැඩබලන දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා ලෙස දැනට සේවය කරන වෛද්‍ය චමල් සංජීව මහතා සිය පෞද්ගලික කරුණු මත අත්තනෝමතිකව වෛද්‍යවරුන්ට චෝදනා එල්ලකරමින් විවිධ පළිගැනිම් නිරන්තරයෙන් කරන බවද ඒ මහතා කීවේය.

මේ නිසා වෛද්‍යවරුන්ගේ මානසිකත්වයට දිගින් දිගටම බලපැම් පවතින බවද ඒ මහතා කීය.
 
මේ සම්බන්ධව හම්බන්තොට දිස්ත්‍රික් වැඩ බලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය චමල් සංජීව මහතාගෙන් කළ විමසීමකදී පැවසුවේ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ හම්බන්තොට සභාපති ලෙස කටයුතු කරන අඟුණකොලපැලැස්ස රෝහලේ සිටි වෛද්‍යවරයා ස්ථාන මාරු කිරීම නිසා මෙම වැඩ වර්ජනය මූලික වශයෙන් ආරම්භ කර ඇති බවයි.

දැනට එම සංගමයේ වෛද්‍යවරුන්ගේ විවිධ අකටයුතුකම් සම්බන්ධව ඉදිරියේදී පරීක්ෂණ පැවැත්වෙන හෙයින් ඒවා නතර කරගැනීමට අවනත සෞඛ්‍යසේවා අධ්‍යක්ෂවරයෙකු පත් කර ගැනීම මෙහි අරමුණ බවද ඒ මහතා කීය.